ඊයේ (31) තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ (Technically Specified Rubber – TSR) නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 10ක් රට තුළ ඇත. ඔවුන් විසින් තම නිෂ්පාදන සඳහා යොදාගන්නා TSR රබර් සඳහා යොදා ගනු ලබන්නේ රබර් කිරි කැපීමේ දී බැහැර කරනු ලබන ඔට්ටපාලුය ( Tree laces) .
නමුත් දැනට තම නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 30ක් පමණ ප්‍රයෝජනයට ගන්නා බවත් ඔට්ටපාලු හිඟය ඊට බලපා ඇති බවත් කර්මාන්තකරුවෝ පැවසූහ.
මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ අමාත්‍යවරයා මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක තුනක අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මහ සැළසුමක් සකසා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එමෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි රබර් ප්‍රභේද නිෂ්පාදනයට නව ක්ලෝන හඳුනාගැනීම සඳහා සිදු කරන පර්යේෂණ කඩිනම් කරන ලෙස රබර් පර්යේෂණායතනයට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලාවලට ප්‍රමාණවත් තරම් ඔට්ටපාලු නොමැති නිසා ඒ වෙනුවට මුදවන ලද රබර් කිරි (Cup Lumps) තාවකාලිකව ආනයනය සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට අප රටේ TSR සඳහා මෙට්‍රික් ටොන් 60,240ක ඉල්ලුමක් ඇතත් මෙරට නිපදවනු ලබන්නේ මෙට්‍රික් ටොන් 17,225ක් වැනි ප්‍රමාණයකි. මේ නිසා දේශීය ඔට්ටපාලු කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් TSR ආනයනය සඳහා තාවකාලිකව අනුමැතිය ලබා දී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මින් ඉදිරියට කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම්වල රබර් වගාවට අනුමැතිය නොදීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා කීය. එයට හේතුව කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම්වල රබර් වගාවට වඩා ගම්මිරිස් වැනි කුළුබඩු වගාව මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට මෙන්ම කුළුබඩු වගාවේ සඳහා ඉහළ විභවයක් ඇති බව සනාථ වී ඇති නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට රබර් පර්යේෂණායතනයේ සභාපති සරත් චන්ද්‍රසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු මෙන්ම TSR ආශ්‍රිත කර්මාන්තකරුවෝ සහභාගි වී සිටියහ.