අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
රිළවුන් චීනයට අපනයනය කිරීමේ වැඩසටහන අතරමඟ නතර කර ඇත්ද යන්න පිළිබඳව ඔවුන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබේ.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා.
දැනට ඇතැම් පරිසර සංවිධාන හා සත්ව සුබසාධන සංගම් විසින් එම වැඩ පිළිවෙළ සම්බන්ධව නීතිමය පියවර ගෙන තිබෙනවා. අපි මෙම සතුන් අපනයනය කරන්නේ නැහැ. ඒ සඳහා නීතිමය හැකියාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නැහැ. චීන පුද්ගලික සමාගමක් ඉදිරිපත් කළ එම යෝජනාව ඉටු කළ හැකිදැයි සොයා බැලීමට අපි කමිටුවක් පත් කළේ ඒ නිසයි. නමුත් දැන් ඊට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒ වුනත් අදාල චීන සමාගම තවමත් එම සතුන් ඔවුන්ට ලබා දෙන ලෙස කළ ස්ථාවරයේ වෙනසක් නැහැ.
වගාවන්ට සිදුවන වන සත්ව හානි වළක්වා ගැනීම සම්බන්ධව අපි සියලුම පාර්ශවවලින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අවස්ථා ගණනාවක දී ඉල්ලුම් කළා. සමහර යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර අසාර්ථක වූ යෝජනායි. නිදසුන් ලෙස සතුන් පළවා හැරීම සඳහා විවිධ උපක්‍රම ඔවුන් යෝජනා කළා. සතුන් පළවා හැරීම වනසත්ව හානි වළක්වා ගැනීමට සාර්ථක උපක්‍රමයක් නොවෙයි. එක තැනකින් පළා ගියත් ඔවුන් තවත් තැනක විනාශය සිදු කරනවා.
ඒ වගේම සමහරු කිව්වා සෑම ගොවියෙක්ම වගා කරන ඉඩමෙන් අක්කර භාගයක් වන සතුන් සදහා වෙන් කරන්න කියළා. නමුත් ඒකට ගොවි ජනතාව කැමැති වේවිද කියන්න අපි දන්නේ නැහැ. අනික අක්කර බාගයක් වෙන් කළත් මේ අපේ අයිති කොටස. මින් එහා කොටස්වලට අපි යන්නේ නැහැ කියළා සතුන්ට හිතන්න පුළුවන් කමකුත් නැහැ.
තවත් සමහර සංවිධාන කිව්වා වගාව වටේට සාරි එල්ලන්න කියළා. අක්කර තුන හතරක් වටේට සාරි එල්ලන්න කොච්චර නම් එක් ගොවියෙකුට සාරි මිල දී ගන්න වේවිද කියළා සිතා බැලිය යුතුයි.
ඒ වගේම තවත් සමහරු කිව්වා ගොවිපොළ වටේට හා ගස් වටේට ටකරං එල්ලන්න කියළා. මේ වගේ ප්‍රායෝගික නොවන විකාර යෝජනා මිස සාධනීය සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා කිසිවක් ඉදිරිපත් වුනේ නැහැ.
ඒ වගේම තවත් සමහරු කිව්වා වාසෙක්ටමි, ටියුබෙක්ටමි වගේ වඳ සැත්කම් කරන්න කියළා. මේ වඳ සැත්කම් කළ සතුන් සියල්ලම වගේ මැහුම් කඩාගෙන අන්ත දුක් විඳලා මරණයට පත් වෙන බව මේ සත්ව සුබසාධන සංගම් දන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පිටරටින් එන ඩොලර් විතරයි. අපේ රටේ සත්තු පෙන්නලා ඩොලර් අරන් ජීවත් වෙන එක විතරයි ඒ අය කරන්නේ.
වන සතුන් නිසා සිදුවන වගා හානි නිසා අපේ රටේ ගොවීන් විඳින දහදුක මේ අය දන්නේ නැහැ. ඒ නිසා මට කියන්න තියන්නේ වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම ගැන මින් පස්සේ අපෙන් අහන්න එපා. ඒ ගැන කොළඹ සීත කාමරවලට වෙලා සතුන් නිසා ලැබෙන ඩොලර්වලින් යැපෙන මේ සත්ව සුබසාධන සංගම්වල මහත්තුරුන්ගෙන් හා නෝනාමහත්තුරුන්ගෙන් අහන්න.
චීන සමාගම මෙන්ම තවත් යුරෝපීය රටවල සත්වෝද්‍යාන කිහිපයක් මෙරට රිළවුන් ඔවුන්ට ලබා දෙන ලෙසට ඉල්ලිම් කළා. සමහරු ප්‍රකාශ කළා මේ සත්තු අරන් යන්නේ ඔවුන්ගේ මොළය කන්න කියළා. විවිධ බොරු කිව්වා. නමුත් දැන් කොහොම හරි සත්ව හානි වළක්වා ගැනීම සම්බන්ධව ගන්න තිබුනු හොඳම වැඩ පිළිවෙළ කඩාකප්පල් කළා. දැන් වගා හානි සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සඳහා විසඳුම් ඇසිය යුත්තේ ඒ කඩාකප්පල් කරපු සත්ව සුබසාධන සංගම් වලින්මයි.
මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුනා නම් අපේ රිළවුන් මැරෙන්නේ නැහැ. ඔවුන් විදේශ සත්ව උද්‍යානවල දහස් ගණනක් මිනිසුන්ගේ ආදරය හා කරුණාව මැද ජීවත්වෙන්න අවස්ථාව තිබුනා. ගොවීන් දැන් තුවක්කු ඉල්ලනවා. වගාවන් ආරක්ෂා කර ගන්න. එතකොට මොකද වෙන්නේ. අවසානය තමයි මේ සතුන් මැරෙන එක. ඒක වළක්වා ගන්නයි අපි කටයුතු කළේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.