නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති සරල කර, උණ කර්මාන්තය නංවා, නව රැකියා සහ විදේශ විනිමය ඉහළ දමමු - මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

    ජූනි 08, 2023

    ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම සංවර්ධනය කිරීමට කඩිනම් අවධානය යොමු කර, නව රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට ඉහල දායකත්වයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

    උණ ශාකය ප්‍රවාහනය සඳහා අවසර ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම හෝ ඉවත් කිරීම ඇතුළු නීති ලිහිල් කිරීම, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල උණ බම්බු ප්‍රශස්ත ලෙස භාවිතයට ඉඩ සැලසීම සහ උණ ශාක වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්මාන්තය හෝ වෙනත් කටයුතු සඳහා යොදාගනු නොලබන රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කිරීම තුළින් මෙය සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

    යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවට 06 දින කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමිනි. ඉන්දියාව හා බොහෝ අසල්වැසි රටවල් උණ ශාකය “කාර්මික භෝගයක්” ලෙස හඳුනාගෙන ඒ සඳහා ඇති සීමා අවම කර ඉහළ ආයෝජනයන් මඟින් වැඩි ප්‍රතිලාභ ලබා ගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. උණ ශාකය පරිසර සුරක්ෂතා උදෙසා, බලශක්ති උත්පාදන උදෙසා, ඉදි කිරීම් කර්මාන්ත උදෙසා, ගෘහ නිර්මාණ හා අලංකාරය උදෙසා, ආදී වශයෙන් වන රන්මය ආර්ථික බෝගයක් බව සඳහන් කළ ඔහු, පටක රෝපණය මගින් කඩිනමින් ඵල ලබාගැනීමේ හැකියාව පවතින හෙයින් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ශාකය ලෙස වසර 5ක් ඇතුලත අස්වැන්න ලබා ගැනීමට හැකියාව පවතින නිසා උණ බම්බු කර්මාන්තය ඉතා කඩිනමින් ප්‍රතිලාභ ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

    සිය යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

    "උණ බම්බු සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි ගෝලීය වෙළඳපළ වටිනාකම 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 70 ඉක්මවිය. තිරසර කර්මාන්ත සඳහා පවත්නා ගෝලීය අවශ්‍යතාවය සහ වෙළඳපළ ඉතා වේගයෙන් ප්‍රසාරණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල උණ පඳුරු ආශ්‍රිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිහිවෙමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගයන් ලබාදීම තුළින් දේශීයව හා විදේශීයව ඉහල ආදායම් ලබා ගත හැක.

    උණ බම්බු කපා ඉවත්කර කෙටි කාලයක් ඇතුලත පදම් කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරක යෙදීම සිදුකල යුතුය. නමුත් වර්තමානයේ ඒවා ප්‍රවාහනය සඳහා පවතින්නේ ඉතා යල් පැනගිය නීතීන්ය. එනිසා දැනට, උණ බම්බු 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනත සහ 1988 අංක 3 ජාතික උරුමයන් සහ වනගත ප්‍රදේශ පනත යටතේ "ගසක්" ලෙස වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණයට අනෙකුත් ආරක්ෂිත ගස්, ලියානා, වේවැල් ආදිය තුළට උණ බම්බු ඇතුළත් වන හෙයින් ප්‍රවාහනය සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හරහා අඩවි වන නිලධාරී වෙතින් ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට සිදුවේ. ඊට ගතවන දීර්ඝ කාලය තුල කපන ලද උණ බම්බු විනාශ වී යාමට සිදුවීම නිසා බොහෝ ආයෝජකයින් මේ සදහා ආයෝජනය කිරීමට පැකිලෙමින් සිටී.

    ගඟ ඉවුරු ආරක්ෂාව සඳහා වගාකර ඇති උණ පඳුරු නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් ගැටළු රාශියකට මුහුණ පා ඇත.

    වර්තමානයේ මහවැලි අධිකාරිය පමණක් පැල මිලියනයකට අධික ප්‍රමාණයක්ද අනෙකුත් ආයතන හා පුද්ගලික අංශය, විශේෂයෙන් තේ කර්මාන්තශාලා ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා උණ පඳුරු වගාකර ඇත.

    අවසාන වශයෙන්, ප්‍රවාහනය සඳහා අවසර ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම හෝ ඉවත් කිරීම, නීති ලිහිල් කිරීම, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල උණ බම්බු ප්‍රශස්ත ලෙස භාවිතයට ඉඩ සැලසීම සහ උණ ශාක වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්මාන්තය හෝ වෙනත් කටයුතු සඳහා යොදාගනු නොලබන රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කිරීම තුලින් මෙම අංශයේ ප්‍රවර්ධනයට, රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට ඉහල දායකත්වයක් ලබා ගත හැක. මෙම යෝජනා සලකා බලා ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීමේ යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි."

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya