අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි

    ජූනි 07, 2023

    ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි.... ආහාර ප්‍රමිති දිවි සුරකී...

    2023 ජූනි 07 වන දිනට එනම් අදට  පස්වන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය යෙදී ඇත. මෙවර ලෝක ආහාර ආරක්ෂිතතා දිනයෙහි තේමාව වන්නේ ආහාර ප්‍රමිති දිවි සුරකී යන්නයි..

    ආහාර මගින් ඇති වන අවධානම් වැළැක්වීම, හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා අවධානය යොමු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවන් දිරිගැන්වීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව, මානව සෞඛ්‍ය, ආර්ථික සමෘද්ධිය, කෘෂිකාර්මික නිෂ්පාදනය, වෙළඳපළ ප්‍රවේශය, සංචාරක ව්‍යාපාරය සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වීමට මෙවර ලෝක ආහාර ආරක්ෂිතතා දිනය (World Food Safety Day - WFSD) සමරනු ලබයි.

    සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු දූෂිත ආහාර නිසා රෝගාතුර වේ. බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් හෝ බැර ලෝහ වැනි රසායනික ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ආහාර ගැනීමෙන් රෝග 200කට අධික ප්‍රමාණයක් ඇතිවේ. ආහාර මගින් බෝවන රෝග වලින් සියයට 40කටම ගොදුරු වන්නේ ලෝක ජනගහනයෙන් සියයට 9ක් වන වයස අවුරුදු 5ට අඩු දරුවන්ය.

    ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම තුළින් ආහාර වල ක්ෂුද්‍ර ජීවී, රසායනික හෝ භෞතික දූෂණය පාලනය කිරීම හෝ අවම කළ හැකිය. පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සහ අදාළ නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට එම ආහාර සපුරාලිය යුතු නිර්ණායක ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් මගින් ස්ථාපිත කරනු ලබයි.

    ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් අප කන ආහාර වල ආරක්ෂිතතාව තහවුරු කරන අතරම එමගින් සියලු දෙනාගේ ජීවිත සහ බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් ආරක්ෂා වීමද සිදුවේ.

    ඔබ ආහාර ගන්නා විට එ ම ආහාර ආරක්ෂිත බව ඔබ දැනගන්නේ කෙසේද? ඔබේ ආහාර සෑදීමට සම්බන්ධ පුද්ගලයින් ප්‍රමිතීන් ලෙස ස්ථාපිත ආහාර ආරක්ෂිතතා පිළිවෙත් අනුගමනය කිරීම සිදුකරයි. එම ආහාර ප්‍රමිතීන් අප ගන්නා ආහාර ආරක්ෂිත බවට අප සැමගේ විශ්වාසය තහවුරු කරයි.

    ආහාර ප්‍රමිතීන් යනු ආහාරයක් මිනිස් පරිභෝජනයට සුදුසු වීමට නම් සපුරා තිබිය යුතු වන නිර්ණායක සමූහයක් නිර්වචනය කරන නීති හෝ නීති පද්ධතියක් වේ. එම නිර්ණායක අතර ආහාරයේ සංයුතිය, පෙනුම, නැවුම් බව, අවසර ලත් ආකලන, අඩංගු විය හැකි උපරිම බැක්ටීරියා ප්‍රමාණය වැනි අංග අඩංගු වෙයි.

    ආහාර ප්‍රමිතීන් සනීපාරක්ෂකව ආහාර හැසිරවීම පිළිබඳ මග පෙන්වයි. එසේම සියලු දෙනාටම සෞඛ්‍යාරක්ෂිතව ආහාර පරිභෝජනය කළ හැකි වන පරිදි ආහාර වල අඩංගු විය හැකි ආකලන, දූෂක, පළිබෝධනාශක වල අපද්‍රව්‍ය සහ පශු වෛද්‍ය ඖෂධ අවශේෂ සඳහා ඉඩ දියහැකි උපරිම මට්ටම් නිර්වචනය කරයි.

    ආහාර ආරක්ෂිතව තබාගැනීම සඳහා ඒවා මැනීම, ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය කිරීම කළ යුතු ආකාරයද සඳහන් වේ. පෝෂක සහ ආසාත්මිකතා ලේබල් කිරීම වැනි දේවල් සඳහා ප්‍රමිති යෙදීම නිසා පාරිභෝගිකයින්ට ආහාර ගුණාත්මකදැයි දැනගැනීමට හැකිවේ.

    ආහාර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම අපට වැදගත් වන්නේ රෝග ඇතිවීම හෝ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට, සෞඛ්‍යාරක්ෂිත නොවන භාණ්ඩ අලෙවිය නැවැත්වීමට සහ ආහාර අලෙවි කිරීමේ ක්‍රියාදාමය සරල කිරීම සඳහා ය.

    ජීව විද්‍යාත්මක, රසායනික හා භෞතික ස්වභාවයේ උපද්‍රව සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක අවදානම් තක්සේරු කිරීමේ ක්‍රම අනුගමනය කරමින් ආහාර ප්‍රමිතීන් සකස් කෙරෙයි. තනි තනි රජයන් හෝ සංවිධාන මගින් හෝ ප්‍රාදේශීය හෝ අන්තර් රාජ්‍ය ප්‍රමිති සැකසීමේ ආයතන මගින් ආහාර ප්‍රමිති සකස් කිරීම් කළ හැකියි.

    ආහාර ප්‍රමිතියේ වැදගත්කම අවබෝධ කරගනිමින් මින්පසු ආහාරයේ රසය ගැන වගේම ප්‍රමිතිය ගැනද සැලකිලිමත් වෙමු...

    තොරතුරු ඊයේ (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී  ලෝක ආහාර ආරක්ෂිතතා දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයේ කරුණු ඇසුරෙනි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya