අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනපති ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි

    ජූනි 06, 2023

    - පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක

    ‍වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරන බව පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසීය.


    ජනාධිපතිවරයාගේ අදහසකට අනුව මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය තුළින් මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා එම අදහස් පළ කළේ ලෝක පරිසර දිනය නිමිත්තෙන්  (05) ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ '101 කතා' වැඩසටහනට එක්වෙමිනි.


    2048 හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සමගාමීව 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීති අංශ වෙත යොමු කර තිබේ.

     

    ඊට අමතරව සිංහරාජය, හෝර්ටන්තැන්න, නකල්ස් කඳුවැටිය සහ මහවැලිය ජීවමාන අස්ථීත්වයන් (living entities) නම් කරමින් නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

     

    මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසුවේ ජපානය, නවසීලන්තය වැනි රටවල්වල මෙවන් ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, එම නිසා එම රටවල්වල පුරවැසියන් පරිසරය මිනිසෙක් ලෙස සලකා සුරැකීමට කටයුතු කරන බවත්ය.


    පරිසරය පුළුල් විෂයක් බවත්, අපේ රටේ සම්පත් ආරක්ෂා නොකළහොත් ඉදිරි පරපුරට රටක් ඉතිරි නොවන බවත්, පරිසරය පිළිබඳව සමාජයේ පවතින දැනුම වැඩිදියුණු කරගත යුතු බවත් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාරනායක මහතා;


    පරිසරය කියන්නේ පුළුල් විෂයක්, සම්පතක්. පරිසරය ආරක්ෂා කිරීම තනි පුද්ගලයකුට කරන්න බැහැ. රජයකට විතරක් බැහැ. සමාජය එකට එක්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වගේම අපට හරිත ආර්ථිකයක් නොමැතිව ඉදිරියට යන්න බැහැ. මිනිස් ජීවිත පවා අහිමි වෙන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීමට නීති, අණපනත් අවශ්‍යයි.


    පරිසරය කෙරෙහි තිබෙන ආකල්පමය වශයෙන් වූ වෙනස්කමක් සමාජයේ ඇති වෙමින් පවතිනවා. ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි, මහජනතාව පවා අලුත් අලුත් දේවල් අත්හදාබැලීම් සිදුකරන්න ඕන නිසා 'පරිසරය' කියන වචනය පැත්තකට දාලා තිබෙනවා. එනිසා පනත්වලට වඩා ඔබ අප පරිසරය කෙරෙහි දක්වන උනන්දුව කෙසේද කියා යළි සිතාබැලීමට කාලය එළැඹ තිබෙනවා.

     

    පරිසරය ආරක්ෂා කිරීම සඳහා වූ නීති පද්ධති දැනටමත් තිබෙනවා. එම නීතිවලට ගරු කරලා කටයුතු කරන්න අප කවුරුත් ඉගෙන ගත යුතුයි. සමාජ, පාසල්, පළාත් පාලන මට්ටමින් පවා මේ ගැන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම අපට පරිසරය ගැන තිබෙන දැනුම ප්‍රමාණවත් නැහැ. සමාජය දැනුමින් සන්නද්ධ කිරීමට කුමක් හෝ ක්‍රමයක් සොයාගත යුතුයි. ඇතැම් පිරිස් පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැහැ. ඔවුන් හිතන්නේ පරිසරය යනු සතුන් කියලයි.


    ඊට වඩා බොහෝ දේවල් පරිසරයේ තිබෙනවා. ඒවා සියල්ල අප වැදගත් කියලා සලකන්නේ නොමැතිනම් පරිසරය ආරක්ෂා ‍වන්නේ නැහැ. මේ සියල්ලක්ම සම්බන්ධයෙන් සමාජයට දැනුමක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේම තරුණ පරපුර පරිසරය ගැන දැනටමත් උනන්දුවක් දැක්වීම යහපත් දෙයක්.


    පරිසරයේ වටිනා සම්පත් ජීවමාන අස්ථීත්වයක් ඇති වස්තූන් ලෙස නම් කිරීම ඉතාම වැදගත් අපූර්ව දෙයක්. සීගිරිය වගේ වස්තූන් විනාශ කරන්න බැහැ කියලා කවුරුත් දන්නවා. ඒ වගේම අපි නකස්ල් වැනි රක්ෂිත පවා ආරක්ෂා කරගත යුතුයි. ගස් කපා ව්‍යාපාර කරන්න ගියොත් විශාල හානියක් සිදු වෙනවා. රටේ වටිනා සම්පත් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගනු ලබන එම ව්‍යායාමය ඉතා වැදගත් කාලෝචිත ක්‍රියාවක්.


    ඉස්සරට වඩා අද උෂ්ණත්වය වැඩියි. මම තරුණ කාලයේ තිබූ අත්දැකීම් එක්ක වහින විදිහත් වෙනස් වෙලා. මෙහෙම ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. දේශගුණික විපර්යාස තමයි මේ තත්ත්වයන්වලට හේතුව. මට දැන ගන්න ලැබුණා ජනාධිපතිතුමා ලබන වසරේදී දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා. ඒක නිසා මුළු ලෝකයේම අවධානය අපට ලැබේවි. වෙනත් රටවල්වල සිටින විද්‍යාඥයන්ට අපේ රටට ඇවිත් පර්යේෂණ කරයි. ඒක හොඳ ප්‍රවණතාවයක්. දැනුම වැඩි වුණොත් තමයි මේ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කරන්න පුළුවන්.


    පොතපතට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව පාසල් මට්ටමින් පරිසර විෂය ක්‍රියාත්මක විය යුතුයි. මේ සෑම දෙයක්ම එක දවසින් වෙවනස් කරන්න බැහැ. ඒ සඳහා යම්කිසි ඉලක්කයක් හරහා ගමන් කළ යුතුව තිබෙනවා. සතුන්, කෘමීන්, ගස් කොළ ඇතුළුව අපේ පරිසරයේ වටිනා සම්පත් ආරක්ෂා කරගත යුතුයි. ස්වයං විනයක් ඇතුව අපි එය කළ යුතුයි.


    ජනාධිපති මාධ්‍ය අංශය විසින් පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා සමග පැවැත්වූ '1O1 කතා' වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/1-SvT53mBk8) ඔස්සේ ලබා ගත හැකිය.
    1O1 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 1O1 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha ) එක්වන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya