අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලයෙන් අයඳුම් කිරීමේ  නව ක්‍රමවේදයක් - විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

    මැයි 30, 2023
    රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
    ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා පැවසීය.
     
    ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන '1O1 කතා' වැඩසටහනට එක්වෙමිනි.
     
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු  සිදු කළයුතුව ඇත. 
     
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බවත්,  මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පැවසීය. 
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා
     
    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සදහා නීතිවිරෝධී ආකාරයට තැරැව්කරුවන් මැදිහත් වන බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් බොහෝ අනාවරණ සිදු කෙරුණා. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එවන් නීතිවිරෝධි කටයුතු වැළක්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව අප විසින් නිර්මාණය කළ එම නව වැඩසටහන මෙම ජුනි මස තුළදී ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
     
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉතිහාසය ගත් විට මෙම වැඩසටහන හැරවුම් ලක්ෂයක් බව කිව යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබන වසරට වසර 75ක් සපිරෙනවා. එම අවස්ථාවේදී මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වුවහොත් එය දෙපාර්තමේන්තුව ලබන විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
     
    මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදු කෙරෙනවා. 
     
     
    අනතුරුව අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය දින 03කින් ද, සති 02ක සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ද යන්න සළකුණු කළයුතුයි.
    මෙම ක්‍රියාවලියෙන් පසුව තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇඟිලි සළකුණ ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් සිදු කළයුතුයි. 
    යම් අයෙකුට අදාළ ක්‍රියාවලිය නිවසේ දී කර ගැනීමට නොහැකිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු ඉටු කරගත හැකියි. 
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇගිලි සළකුණු ලබාදීමෙන් අනතුරුව යම් අයෙකුට මාර්ගගත පහසුකම යටතේ අදාළ ගෙවීම් කළ නොහැකි නම් ඒ සඳහාද පහසුකම් සළසා තිබෙනවා. ඇගිලි සළකුණු ලබාදීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  සෑම අයඳුම්කරුවෙකු සඳහාම අංකයක් ලබා දෙන අතර එම අංකය ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කළ විට බැංකුව එම මුදල් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනවා. 
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර, කැමරා ස්ථාපිත කර තිබෙන අතර  මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී තිබෙනවා. කුරියර් විධි ක්‍රමයට ගමන් බලපත්‍රය නිවසට ගෙන යාමට අදාළව මේ වන විට අප  තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතව සිටිනවා. 
    තැපැල් දෙපාර්තමේන්තුව අප වෙත සඳහන් කර ඇති ආකාරයට කොළඹ නගරය තුළ අයදුම්කරුවන් වෙනුවෙන් දින 02ක් තුළ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ලැබීමට සලස්වනවා. ඉන් පරිභාහිර අයඳුම්කරුවන් සදහා දින 03කින් තමන්ගේ නිවසටම විදේශ ගමන් බලපත්‍රය ලැබෙනු ඇතියි. 
    එහිදී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට ද පියවර ගෙන තිබෙන අතර දැනට පවතින නවීන තාක්ෂණය ඒ සඳහා උපරිමයෙන් භාවිතයට ගැනීමට කටයුතු කර තිබෙනවා. 
     
    ජනාධිපති මාධ්‍ය අංශය විසින් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සමග පැවැත්වූ '1O1 කතා' වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/y3NRU39XlBs ) ඔස්සේ ලබා ගත හැකිය.
    1O1 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 1O1 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha ) එක්වන්න.
     
    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya