අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ශ්‍රී ලාංකිකයින්ට නව විදෙස් ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම සහ ගමන් බලපත්‍රය අලුත් කිරීම ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ

    මැයි 30, 2023

    විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ
    ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ විය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීහු මේ බව පැවසූහ.

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දීම සිදු කරන ලදී.

    අන්තර්ජාලය ඔස්සේ වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු ද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්වල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපති විසින් නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

    ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවල් වලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාවේ සභාපති විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මෙම රැස්වීමට කාරක සභාවේ සමාජිකයන් වන නිරෝෂන් පෙරේරා , එස්. එම්. එම්. මුෂාරෆ් , සාගර කාරියවසම් , යදාමිණි ගුණවර්ධන , (ආචාර්ය) හරිනි අමරසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය පරිදි මෙම රැස්වීමට සහභාගී විය.

    මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකාව) (පුද්ගලික) සමාගම යන ආයතන වල නිළධාරීන් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya