අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිඳු පොහොර විශේෂයක් වවුචර්පත්වලින් මිල දී ගැනීමට අනිවාර්ය කර නෑ

    මැයි 29, 2023

    මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගැනීමට කිසිඳු පොහොර විශේෂයක් අනිවාර්ය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර ඇත.

    ඒ අනුව රුපියල් බිලියන 10ක මුදලක් ගොවීන් හයලක්ෂ පනස්දහසකට රසායනික පොහොර හෝ කාබනික පොහොර ලබා ගැනීම සඳහා මුදල් වවුචර්පත් නිකුත් කර තිබේ.

    මෙම වවුචර් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය අංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකි බවත් ඒ මහතා පැවසීය.


    පසුගිය දිනවල දිස්ත්‍රික් දෙකක ගොවීන් කුඩා කණ්ඩායම් කිහිපයක් සියයට 30ක් කාබනික පොහොර වශයෙන් හා සියයට 70ක් වශයෙන් රසායනික පොහොර අනිවාර්ය කර ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. එමෙන්ම ඇතැම් පොහොර වර්ග අනිවාර්ය කර ඇති බවට ද ඔවුන් පවසා ඇත.


    මෙම යල කන්නයේ දී පොහොර ලබා ගැනීම සඳහා රජය සහනාධාර වශයෙන් ලබා දෙන වවුචර්පත්වලට ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකි බවත් සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යල කන්නය සඳහා සිදු කර නොමැති බවත් හෙතෙම කියා සිටී.


    මේ සම්බන්ධව අවශ්‍ය සියලු කරුණු පැහැදිළිව ගොවීන් වෙත ලබා දී තිබෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබා ගැනීමේ දී තම අභිමතය පරිදි කටයුතු කළ හැකිය.


    මෙවර යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් සහ ගොවි නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා පොහොර මිල දී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළ කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya