අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් කම්කරු නීති පද්ධතිය කෙටුම්පත් කිරීමෙන් පසුව වැඩ කරන ජනතාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නවා - අමාත්‍ය මනුෂ නානායක්කාර

    මැයි 25, 2023

    නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දල කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

     

    අලුතින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව කම්කරු නීතිය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් ඇතිකර ගැනීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒ සඳහා ජනමාධ්‍ය වලින් අපට ලොකු සහයෝගයක් ලබාදෙනව. ඒ සම්බන්ධයෙන් සියළුම මාධ්‍ය ආයතනවලට අපි අපේ ස්තුතිය පළකරනව. ඒ වගේම අපිට ආරංචි වෙලා තියෙනව මේ වෙන කොට මේ සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් තැන්වල විවිධ සංවාද ආරම්භ කරන්න සූදානම් කරල තියෙනව කියල. මෙන්න මේක තමයි අපට ඕන කරල තිබුණු දේ.
    අලුත් කම්කරු නීතිය හදන එක සම්බන්ධයෙන් සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම,අලුතෙන් හදන මේ කම්කරු නීතිය පිළිබඳව යෝජනා,චෝදනා,විරෝධතා සහ සැක සංකා ඉදිරිපත් විය යුතුයි. විවිධ මත ඉදිරිපත් උනොත් තමයි මේ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කළ හැකි වන්නේ.

    උගත් නීතිඥ මහත්මියක් පවා කෙටුම්පතේ තිබෙනවායැයි කියමින් නැති දේවල් ගැන අදහස් පළ කරල තිබුණ. නමුත්,මෙහෙම වේදිකාවක් තිබෙන නිසා එම සාවද්‍ය ප්‍රකාශවලට උත්තර දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනව. බොරුවක් කිව්වා උනත් ඒ සියළු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනව මේ කතිකාව ගොඩනැගීමට ඔවුන් දායක වීම සම්බන්ධයෙන්.

    කම්කරු උපදේශක සභාවෙන් ඉදිරිපත්වන කරුණු තියෙනව. කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වන කරුණු තියෙනව. ලබන සතිය වන විට කම්කරු නිලධාරීන්ගේ අදහස් ලබාගැනීමට අපි අදහස් කරනව. අපි මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලටත් ආරධනා කරල තියෙනව. මේ වෙන කොට අපි සියළු මාධ්‍ය මගින් සමාජය දැනුවත් කරල තියෙනව මේ කතිකාවට එකතු වෙලා සිය යෝජනා ඉදිරිපත් කරන්න කියල. ඒ අනුව මේ කිව්ව විදිහට විවිධ විවිධ ක්ෂේත්‍රවලට ආරාධනා කරල මේ කරුණු ගොනු කර ගැනීම අපි මේ වන විට සිද්ධ කරමින් ඉන්නව. ඒ ගොනු කර ගන්නාවූ අදහස්වලින් සකස්කර ගන්නා වූ දල කෙටුම්පත අපි කම්කරු උපදේශක සභාව වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලටත් අපි මෙම සකස් කරගන්නාවූ දල කෙටුම්පත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. ඒ විතරක් නෙමෙයි මේ කතිකාවෙන් පසුව හදන මේ දල කෙටුම්පත ආයෝජන කලාපවල සේවය කරන අය ද ඇතුළුව සියළුම ක්ෂේත්‍ර නියෝජනය කරන වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කරල ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරනව.

    අපි මේ කටයුත්ත කිරීමේදී උපරිම පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව තමයි කටයුතු කරන්නෙ. අද මේ සාකච්ඡාව පවා සජීවීව විකාශය කිරීමට අපි කටයුතු කරල තියෙන්නෙ අන්න ඒ පාරදෘෂ්‍යභාවය රැකගැනීම උදෙසායි..

    අනිත් කාරණය තමයි ජාතික කම්කරු උපදේශක සභාව පිළිබඳව පහුගිය දවස්වල මාධ්‍යවල යම් යම් කරුණු වාර්තා වෙලා තිබුණ. එම උපදේශක සභාව ක්‍රියාත්මක වෙන්නෙ කම්කරු නීතියට අනුකූලවයි. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලවයි. ඒ අනුව එහි සංයුතිය අවුරුද්දකට වතාවක් වෙනස් කිරීමට අමාත්‍යවරයාට බලය තියෙනව. ඒ අනුව මම ඒ සඳහා අලුතින් සාමාජිකයන් එම සභාවට පත් කරන්න කටයුතු කරල තියෙනව. ඒ සෑම පත්කිරීමක්ම කරල තියෙන්නෙ සියයට සියයක්ම නිවැරදිව නීතියට අනුකූලවයි. කිසිම අත්තනෝමතික තීන්දුවක් එහිදී මම අරගෙන නෑ මේ නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්තේදී. එහිදී සක්‍රීය සමාජිකයන් වැඩිම පිරිසක් සහිත වෘත්තීය සමිතිවලට මෙම සභාවේ නියෝජනය කරන්න අවස්ථාව ලබාදීල තියෙනව. සමහර වෘත්තීය සමිතිවල සමාජිකයො විසිදාහ තිස්දාහ වගේ ලොකු ගාණක් ඉන්නව කියල කිව්වට ඇත්තටම සාමාජික මුදල් ගෙවන සක්‍රීය සාමාජිකයො ඉන්නෙ දාහක් දෙදාහක් වගේ ඉතාම ටික දෙනයි. ඉතින් එහෙම වෘත්තීය සමිතිවලට මේ සභාවෙ සාමාජිකත්වය දෙන්නෙ කෙහොමද සක්‍රිය සමාජිකයන් විශාල පිරිසක් සිටින වෘත්තීය සමිති පැත්තකින් තියල. ඒ නිසා ඉතිහාසයේ මෙතෙක් කරපු වැරදි නැවත නැවත කරන්න නෙමෙයි ඇමතිවරයා විදිහට මම කටයුතු කරන්නෙ. ඒ වගේම ඉතිහාසයේ කරපු වැරදි නැවත නැවත කරන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් මේ රජය කටයුතු කරන්නෙ.

    යල් පැන ගියපු අපේ රටේ කම්කරු නීතිය වෙනස් කිරීම මගේ උවමනාවක් නෙමෙයි,ඒක රටේ ජනතාවගේ උවමනාවක්. මේ වැඩේ ඇතුළෙ කිසිම සැඟවුණු න්‍යාය පත්‍රයක් නැති බව මම කියන්න කැමතියි. මේ පහු වෙච්ච සාකච්ඡා වාර කිහිපයේදී අපි නව කම්කරු නීතිය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කරල තියෙනව. විශේෂයෙන්ම අවම වැටුප සහ ප්‍රසූත නිවාඩු වගේ කාරණා ද ඒ අතර තියෙනව. අවම වැටුප සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනව. ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් වඩාත් ශක්තිමත් කරල නව සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනව. හැබැයි සමහරු කියල තිබුණ අපි ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් විනාශ කරන්න යනවය කියල. සේවය අවසන් කිරීමේ පනත සම්බන්ධයෙන් හාම්පුතුන් එකක් කියනව,වෘත්තීය සමිති එකක් කියනව,කම්කරුවො එකක් කියනව. කම්කරු වන්දි සම්බන්ධයෙනුත් එහෙමයි. මේවා සම්බන්ධයෙන් දැනට තිබෙන නීති ඉතාම විවාදාත්මකයි. ඒ නිසා මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි අපේ අවධානය යොමු කළ යුතු වෙනව. දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් වගේම වතු කම්කරුවන් සම්බන්ධයෙනුත් අපි අපේ අවධානය යොමු කළ යුතු වෙනව. නිවාඩු සම්බන්ධයෙන් අපේ නීති කෙසේ සකස් විය යුතුයි ද කියලත් අපි බැලිය යුතුයි. මොකද ලෝකයේ නිවාඩු වැඩිම රටක් අපි. ඒ නිසා ඒ නිවාඩු තවත් වැඩි කර ගන්නව ද නිවාඩු අඩුකරගෙන වැඩියෙන් වැඩ කරල රට දියුණු කරනවද කියල අපි කල්පනා කරන්න කාලය උදාවෙලා තියෙනව.

    අද වෙනකොට බඩු මිල අඩු වෙමින් තියෙනව. උද්ධමනය පහළ යමින් තියෙනව. විදුලි බිල පවා ඉදිරියේදී අඩු වේවි. ජනතාවට ජීවත් වෙන්න පහසු සමාජ වටපිටාවක් ඉදිරියේදී නිර්මාණය වන බවට වන ඉඟි අපට මේ වෙනකොටත් දකින්න පුළුවන් වෙලා තියෙනව. ඒ නිසා නිකං පඩි ගන්න ශ්‍රම බලකායක් වෙනුවට සක්‍රීය, ජවසම්පන්න සහ ඵලදායි ශ්‍රම බලකායක් බිහිකර ගැනීමට අපි සියළු දෙනා කටයුතු කරමු

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya