නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරාජික ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට ඉඩ තබන්නේ නැහැ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    මැයි 23, 2023

    සංවර්ධන සම්බන්ධීකරණයට සහයකයෙකු පත් කෙරෙන්නේ, පළාත් පාලන ප්‍රදේශවල ජනතා සුබසිද්ධිය සඳහායි..

    අරාජික ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පළාත් පාලන ආයතන, දිස්ත්‍රික්ක ලේකම්, ආණ්ඩුකාරවරු අතර සම්බන්ධීකරණයට, අපේක්ෂකයෙකු නොවන නිලධාරියෙකු පත් කෙරෙන්නේ, ඒ ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට බව, ඔහු අවධාරණය කළේය.

    පළාත් පාලන ආයතන ඡන්ද, මැතිවරණ කොමිසම මගින් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත්, පළාත් සභාත් දැනට ක්‍රියාත්මක නොමැති බවත් පැවසු අග්‍රාමාත්‍යවරයා, එසේ වුවද බදු ගෙවන ජනතාවගේ එදිනෙදා සංවර්ධන කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා, සම්බන්ධිකරණ කමිටු සභාපති වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහය වීමට මෙසේ සහයකයෙකු පත්කිරීම අලුත් දෙයක් නොවන බවද සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී(23 දින), විපක්ෂ නායකවරයා විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අගමැතිවරයා මෙසේද පැවසිය.

    "විරුද්ධ පක්ෂයේ නායකතුමා කල් ඇතිව මේ ප්‍රශ්නය දුන්නනම් පැහැදිළි දීර්ඝ පිළිතුරක් මට ලබා දිය හැකිය. හදිසියේ මේ ප්‍රශ්නය නැගීම ගැන මම ස්තූතිවන්ත වෙනවා මොකද එතුමා තුළ තියෙන අනවබෝධය. එතුමා හිතන දේ පමණයි රටේ නීතිය කියල හිතාගෙන ප්‍රශ්න ඇසීමේ තේරුමක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි අපි කටයුතු කරන්නනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාර්තු මස 19 වෙනිදා පළාත් පාලන ආයතනවල, පළාත් පාලන මැතිවරණ නීතිය යටතේ කාල සීමාව අහෝසි උනා. එතකොට සියලු සභිකයන් ඒ ධුරයෙන් ඉවත්ව යනවා. ඒ අනුව අපිට දික් කරන්න තිබුණ කාලය අවුරුද්දක්. එම දීර්ඝ කරන ලද කාලයත් ගිය වසරෙන් අවසන් වෙනවා. ඡන්දය පැවැත්වීම පිළිබඳ අයිතිය කොමිෂන් සභාවට තියෙන්නේ. කොමිෂන් සභාව මැතිවරණය කල් දාලා තියෙනවා දින නියමයක් නැතිව. මම මෙය කලිනුත් ප්‍රකාශයට පත් කරා.

    මේ අතරතුර ඔබතුමාලම අත උස්සල ඡන්දය දුන්නු පළාත් සභා ඡන්ද පනත යටතේ පළාති සභාත් විසිරී ගිහින් ලංකාවේ ඡන්දය තියල නැහැ. ඒකත් ඔබතුමාල තමයි අත උස්සල කරේ. අපි එදා අනතුරු ඇගෙව්වා ඒකනේ සිද්ධ වෙන්න පුළුවන් විපත මේකයි කියලා.

    දැන් පළාත් සභා පාලනය තියෙන්නේ ආණ්ඩුකාරවරු අතේ. එතනත් මහජන සභාවක් පත්කර ගැනීම සඳහා අපි තවම සාකාච්ඡා පවත්වනවා. කොහොමද මෙය කරන්නේ කියලා.

    ආණ්ඩුකාරවරයා යටතේ තමයි පළාත් පාලන විෂය තියෙන්නේ. ඒ විෂය යටතේ අනුමත වුණු විශාල මුදල් ප්‍රමාණයක් පළාත් පාලන ආයතනවලට වෙන් වෙනවා එදිනෙදා කටයුතු කරගෙන යන්න. ආදායම පළාත් පාලන ආයතන යටතේ ක්‍රමවත්ව කළමණාකාරීත්වයක් ඇතිව සිද්ධ වනවාද කියලා සොයාබැලීමට ආණ්ඩුකාරතුමාට යම්කිසි බලතල ප්‍රමාණයක් තියෙනවා. ඊට අතිරේකව ජනාධිපතිතුමා මහජන සේවාව රටේ ජනතාවගේ සේවාව ඉටු කිරීම සඳහා පළාත් පාලන ආයතන මගින් කෙරෙන සේවාව ඉටුවිය යුතුයි. එය පළාත් පාලන විෂය භාර අමාත්‍යතුමා හැටියටත්, මම ගෙනවිත් සාකච්ඡා කර එම නිළධාරීන්ටත් උපදෙස් දුන්නා.

    දිසාපතිවරු, දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රධාන නිලධාරීන් හැටියට ආණ්ඩුකාරවරු සමඟ සම සභාපතිවරු හැටියට පත් කර තිබෙනවා. ඒ චක්‍රලේඛණය ප්‍රකාරව තමයි ඔබතුමා ඔය කියන චක්‍රලේඛණය මතුවී තිබෙන්නේ. දිසාපතිවරු සංවර්ධන කමිටුවේ සම සංවිධායකවරු හැටියට සිටින අතර, සැම දිස්ත්‍රික්කයකටම ජනාධිපතිතුමා බලතල ඇතිව සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම හා මෙහෙයවීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු පත් කර තිබෙනවා. මේක දිගටම කෙරුනු පිළිවෙතක්. අලුත් පිළිවෙතක් නොවෙයි. ඒ අනුව අලුත් පිළිවෙතක් අනුව කටයුතු කරලා කියලා වැරදි අර්ථ නිරූපණ දීම වැරදියි.

    විපක්ෂ නායකතුමා හොදාකාරවම දන්නවා. ඔබත් මමත් සංවර්ධන කමිටුවලට යනවා කොළඹ දිස්ත්‍රික්කයේ. අපි අනිවාර්යයෙන් සභාපති ධූරය දරන්න යන්නේ නැහැ. එතන සභාපතිවරයෙක් පත් කරලා ඉන්නවා. ආණ්ඩුකාරතුමත් පැමිණෙනවා. මේ හැම දිස්ත්‍රික්කයේම වැඩ කටයුතු කෙරෙන්න ඕන කතානායකතුමනි. එදිනෙදා සේවාවල් පවත්වාගෙන යන්න ඕන. රාජ්‍ය විෂයන් රාශියක් තියෙනවා. පළාත් සභාවට පවරන ලද විෂයන් රාශියක් තිබෙනවා එදිනෙදා මහජන සේවය ඉෂ්ට වීමට. ආදායම් මාර්ග පළාත් පාලන ආයතනයෙන් ලැබෙන ඒවා ලබා ගැනීමට හා වැය ශිර්ෂ අවශ්‍ය වෙනවා පහසුකම් ලබා දීමට බදු ගෙවන්නන්ට, ඡන්දයෙන් පසුවද අලුත් සභාව පත්වන තුරු. ඉතින් මේ සඳහා ඒ සභාපතිවරු පළාත් පාලන ආයතනයේ පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය සංවර්ධන කොමිටිත් පත් කර තිබෙනවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා දිගටම කරපු දෙයක්. මේ ජනාධිපතිතුමා නෙමෙයි හැම ජනාධිපතිතුමෙක්ම පත්කළා. ඒ සංවර්ධන කටයුතු භාරව කටුයුතු කරන්න. එය මේ පාර්ලිමේන්තුවේ දිගටම අනුමත වුණු දෙයක්.

    එදිනෙදා සංවර්ධනය ගැන සම්බන්ධීකරණය කිරීම හා අලුත් සංවර්ධනයේ වැය ශීර්ෂයන් තුළ ඉටු කිරීමට. මහජනයා වෙනුවෙන් ඒ කටයුතු අපි රජය හැටියට කරන්න එපැයි. මහජනයා වෙනුවෙන් ඒ කටයුතු කිරීමට ඒ අවශ්‍ය පියවර ඒ අනුව පත් කරලා තියෙනවා. දැන් සංවර්ධන කොමිටි සභාපතිවරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින්නේ මන්ත්‍රීවරයෙක්. ප්‍රාදේශීය ලේකම්තුමත් ඉන්නවා. එතකොට නිලධාරීන් සමඟ ඒ කටයුතු සෑම කොට්ඨාසයකම කරගෙන යාමට අවශ්‍ය විධිවිධාන රාජ්‍ය පරිපාලන ලේකම්තුමා විසින් නිකුත් කරලා තිබෙනවා. එය අපි ගත්ත තීරණයක්. එයට සහාය වීමට, ඒ මන්ත්‍රීතුමාට සහාය වීමට අවශ්‍ය නිලධරයෙක් පත් කරලා තිබෙනවා. ඔහු අපේක්ෂකයෙක් නෙමෙයි ඡන්ද නීතිය අනුව. ඔහු වැඩකටයුතු හරියාකාරව කර ගැනීම සඳහා ලබාදෙන සහයකයෙක් හැටියට තමයි ලබාදීලා තියෙන්නේ. ඉතින් එය වැරදි විදිහට අර්ථ නිරූපණය කරන්න එපා. මහජන යහපත සඳහා අපේ රටේ ප්‍රජාතන්‍ත්‍රවාදී අයිතියේ අපි නිලධාරීන් විතරක් නෙමෙයි මහජනයාගේත් සේවාව මහජන ආයතනවල ඉටු කරන්නට ඕනේ. ඉතින් මහජන ආයතනවල ඉටු කිරීම සඳහා වූ සහයක් හැටියට මෙය පත් කරලා තියෙනවා. අපි වැඩ අඩපණ වෙන්න ඉඩ තියන්නේ නෑ.

    ඒක විපක්ෂනායකතුමාට ඉතා ඕනෑකමින් කියන්න ඕනේ. අරාජික ලංකාවක් ගොඩනැගීම නම් ඔබතුමාගේ අරමුණ එයට අපි ඉඩ තියන්නේ නෑ.

    උතුරුකරයේත් අපි පත් කරලා තියෙනවා සංවර්ධන කොමිටි සභාපතිතවරු. දිස්ත්‍රික් කොමිටිය, ප්‍රාදේශීය කොමිටිය ඒ ආයතනවලට උදව් වෙන්න. ඉතින් ඔබතුමාලා විපක්ෂයේ ඉන්නවා කියලා, වර්ජනය කරනවා කියලා එය සාධාරණය වෙන්නෙත් නෑ. ඔබතුමාලා මහජන මන්ත්‍රීවරුන් නම් ඒවාට සහභාගී වෙලා මේ තීරණ ගැනීමේදී සහාය වෙන්න මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා. ඔබතුමාට අධිකරණයට යන්න ඕනේ නම් අධිකරණයට යන්න. නමුත් මේ චක්‍රලේකනය අපි ඉටු කර තිබෙන්නේ. ඒ වගකීම් සාර්ථකව නිම කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය හැටියට."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya