අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍යාපන පරිපාලන කටයුතු යථා තත්වයට පත් කර තිබෙනවා- අධ්‍යාපන ඇමති

    මාර්තු 24, 2023

    ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී

    - මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍යාපන පරිපාලන කටයුතු යථා තත්වයට පත් කර තිබෙනවා
    අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    1985 වර්ෂයේ ජාතික අධ්‍යාපන ආයතනය ස්ථාපිත කර විෂය මාලා සංවර්ධනය කිරීම මගිනුත් 1986 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් පිහිටුවීම මගිනුත් ගුරුවරුන් පුහුණු කිරීමේ නිසි යාන්ත්‍රණයක් ආරම්භ කර ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්තිකාමරයට යැවීම ඔස්සේ ප්‍රාථමික අධ්‍යාපනය නගාසිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි කාලයේ දී බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් හා පෙළපොත් පාසල් සිසුන්ට ලබා දීම නිල වශයෙන් ආරම්භ කරමින් කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද පැවති එහි ආරම්භක වැඩසටහනට ජනාධිපතිවරයා සමග සහභාගී වෙමිනි.


    එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා මෙහෙණින් වහන්සේ සඳහා අවශ්‍ය සිවුරු මෙන් ම මුස්ලිම් ශිෂ්‍යාවන් වෙනුවෙන් සැකසූ ෆර්දා ඇතුළු පිරිවෙන් හා රජයේ මෙන් ම රජයේ ආධාර ලබන පාසල් සඳහා අවශ්‍ය නිල ඇඳුම් සියල්ල මේ වන විට ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීම සඳහා සූදානම් ව ඇති බවත් මෙවර පාසල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඉතිරි ප්‍රමාණය දේශීය ව්‍යාපාරිකයන් විසින් සපයනු ලැබූ බවත් දුෂ්කර පළාත්වලට ප්‍රමුඛතාව දෙමින් ඒවා බෙදා හැරෙන බවත් ය.


    එසේ ම පෙළපොත් සඳහා ගිය වර්ෂයට සාපේක්ෂ ව මෙවර සිව් ගුණයක වැඩි පිරිවැයක් දැරීමට රජයට සිදු වූ බවත් ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රුපියල් මිලියන 16,000ක් වැය කර පාසල් පෙළ පොත් ම්‍රද්‍රණය කළ බවත් ඉන් දේශීය සැපයුම්කරුවන් විසින් 55%ක ප්‍රමාණයක් මේ වන විට මුද්‍රණය කර දී අවසන් බවත් ඉතිරි 45%ක ප්‍රමාණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ලබා දෙන අතර එහි මුද්‍රණ කටයුතු ද මේ වන විට අවසන් වෙමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.


    තව ද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති අතර අභියාචනා සලකා බැලීම අවසන් කර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම ද මාර්තු 28 වන දා සිට ම ක්‍රියාත්මක කෙරෙන බවත් කල්ගත ව තිබූ විභාග සාර්ථක ව පවත්වා අවසන් කර ඇති අතර දැන් තිබෙන්නේ විභාග උත්තරපත්‍ර පරීක්ෂා කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ හා ප්‍රවීණ ගුරුවරුන්ගේ වගකීම බවත් මෙරට දරුවන් 41 ලක්ෂයක අනාගතය ගැන සිතා ඔවුන් තම වගකීම නොපිරිහෙලා ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පැවැත්විය හැකි වනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පාසල්වල සියලු විෂය ඉගැන්වීම් මෙන් ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කර පසුගිය දෙසැම්බර් මාසය වන විට ක්‍රීඩා ඉසව් 26ක් ද පවත්වා අවසන් කර පාසල් අධ්‍යාපනය මේ වන විට සාමාන්‍ය තත්වයට පත් කර ඇතැයි ද කී ය.


    එමෙන් ම පළමු ශ්‍රේණියේ ගුරුවරුන් 13,800ක් පුහුණ කර අවසන් ව ඇති අතර මාර්තු 30 වන දා සිට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂා විෂය ප්‍රගුණ කරවීමේ (Activity Base Oral English) වැඩසටහන දිවයින පුරා පාසල්වල සියලු ම පළමු ශ්‍රේණියේ පන්ති සඳහා පළමු වැනි කාලපරිච්ඡේදයේ දී ආරම්භ කෙරෙන බවත් අනතුරු ව එය දෙවැනි තෙවැනි ශ්‍රේණි දක්වා ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.


    මාර්තු 31 වන දා සිට බස්නාහිර පළාතේ කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දී ආරම්භ වන ස්ටීම් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ව මෙහි දී අමාත්‍යවරයා විශේෂ වශයෙන් සඳහන් කළේ ය. එ සඳහා තවදුරටත් විද්‍යා, ගණිත, ඉංග්‍රීසි හා තාක්ෂණ උපාධිධාරී ගුරුවරුන් බඳවාගත යුතු ව පවතින බව ද හෙතෙම පැවසී ය.


    ඉදිරි මාසයේ දී 7,500කට වැඩි විද්‍යා පීඨ ගුරුවරුන් ප්‍රමාණයක් බඳවා ගන්නා අතර අනිද්දා දිනයේ දී රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් 53,000කට පවත්වන විභාගයෙන් 26,000ක උපාධිධාරී ගුරුවරුන් සති දෙකක් තුළ තෝරාගෙන 33,000ක ගුරුභවතුන් ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් සංවර්ධනයට ඉවහල් වන අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු, අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක, විදුහල්පති සේවාවල පුරප්පාඩු ද ඉදිරි මාසයේ දී පූරණය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.
    භෞතික සම්පත් වර්ධනයට ද වැඩි අවධානයක් යොමු කරමින් දැනට වෙන් ව ඇති සම්පත් ප්‍රමුඛතා පිළිවෙළකට පාසල්වලට ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.
    පසු කළ දුෂ්කර මාස 7-8 තුළ තෘප්තිමත් විය හැකි පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති පරිවර්තනීය ක්‍රියාදාමය, සැබෑ අධ්‍යාපන පරිවර්තනයක් ලෙස සැලසුම් සහගත ව ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ ය.


    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය මෙහි දී ජනාධිපතිවරයාගේ පැසසුමට ද බඳුන් විය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya