නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරප්පාඩු සඳහා බඳවාගත් රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් පිරිසකට පත්වීම්

    මාර්තු 23, 2023

    මින්පසු ලංගම තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැතයි'' ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා බඳවාගත් රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තර වරුන්ගේ පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 275ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් පළමු කණ්ඩායම ලෙස රියදුරු මහතුන් 100 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 50 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ.


    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;
    ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අභියෝගයන් රැසකට රට මුහුණ පා සිටින මේ මොහොතේ අතිගරු ජනාධිපති ඇතුළු රජයේ සුවිශාල උත්සාහය ඵල දරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිමිවීමත් සමග ආර්ථික දේහයේ හුස්ම වැටීම යළි ආරම්භ වී තිබෙනවා. තිස් වසරක යුද්ධය අවසන් වූවා සේම ආර්ථික යුද්ධය ජය ගැනීමේ මුල් පියවර ද රජය තබා තිබෙනවා.


    ඒ වෙනුවෙන් රජයටත් ජනතාවටත් විශාල වගකීමක් පැවරෙනවා. කඩිනමින් අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීමේ පියවර ගත යුතුව තිබෙනවා. ඒ ඒ ආයතන තම මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු වනවා.


    මෙවැනි අභියෝග රැසක් තිබිය දීත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වසර 3ක් පුරාවට පැවති ගැටලුවක් විසඳමින් අද දින නවක රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලෙස ඔබ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත එක් කර ගනු ලබනවා.


    පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන මේ මොහොතේ වසරක කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගන්නා ඔබ වංචාව, දූෂණය, අක්‍රමිකතාවයට ගොදුරු නොවී විනයගරුකව මෙම වගකීම් සහගත මෙහෙවරෙහි නිරත වනු ඇති බවට මා විශ්වාස කරනවා. එලෙස කැපවීමෙන් ජනතා සේවය සිදු කරන ඔබ සැමට අදාල සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ස්ථිර සේවයේ පිහිටු වීමේ වගකීම අප භාර ගන්නවා. ඒ වෙනුවෙන් ඔබ ඔබේ වගකීම අවංකවම ඉටු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.


    විවිධ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් විනය විරෝධීව කටයුතු කරමින් ජනතාව අපහසුවට පත් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම අප පසුබට වන්නේ නැහැ. අද දිනයේත් කතරගම සහ තවත් ඩිපෝ කිහිපයක නීති විරෝධී ලෙස වර්ජන ක්‍රියාත්මක සිදුකරන බව වාර්තා වී තිබෙනවා. කඩිනමින් ඒ පිළිබඳ කරුණු සොයා බලා විනය විරෝධී සහ නීති විරෝධී ලෙස කටයුතු කර තිබෙන සේවකයින් සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නට නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඉතිහාසයේ ඇතැම් අඳුරු යුගයන් වල එවැනි කටයුතු වලට ඉඩ ලැබුනත් අප දැන් ගත කරන්නේ ඉතාමත් ශිෂ්ට සම්පන්න යුගයක්. එම නිසා මින් ඉදිරියට ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් ලැබෙන්නේ නැහැ.


    ඔබට පවතින ඕනෑම වෘත්තිය ගැටළුවක් පිළිබඳව විසඳුම් ලබාදීමට, සාකච්ඡා කිරීමට ආයතනයේ සභාපති වරයා, අනෙකුත් නිලධාරීන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමා මෙන්ම මම ද ඕනෑම අවස්ථාවක සූදානමින් සිටිනවා. එමනිසා ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබා පුරවැසියන් ලෙස අප සියලු දෙනාම නීතියට අවනත ව රට වෙනුවෙන් අපගේ වගකීම, යුතුකම ඉටුකරන්නට අධිෂ්ඨාන කරගත යුතුයි.


    මෙම වැඩසටහන සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ඇතුළු ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් හා පත්වීම් ලාභීන් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya