අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය 32% ක් දක්වා ඉහළ නැංවීමට පියවර

    මාර්තු 22, 2023

    වන හානි උපරිමයෙන් අඩු කර වනාන්තර ආරක්ෂා කරමින් සහ නැවත රෝපණය කරමින් වනාන්තර අයිතිවාසිකම් මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමින් රට ඉදිරියට ගෙන යායුතු බව වනජීවි සහ වනසම්පත් සංරක්ෂණ ආමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    කළුතර දිස්ත්‍රික්කයේ හොරකැලේ නාගරික වනාන්තරය අසළ ඊයේ (21) පැවති ජාත්‍යන්තර වනාන්තර දින උත්සවයට සහ ශ්‍රී ලංකාව පුරා වන වැස්මට පැළ මිලියනයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

    මෙවර වනාන්තර දින තේමාව වන්නේ "නීරෝගී දිවියකට අත්වැලක් සපයන වනාන්තර" යන්නයි.
    ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පැළ රෝපණය කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සියලුම පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිටී.
    එසේම කෘෂි වනවගාව, ගෙවතු සංවර්ධන වැඩසටහන්, ස්වාභාවික පුනර්ජනනය, කඩොලාන ප්‍රතිස්ථාපනය, ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම, කටු පදුරු සහිත බිම් වනාන්තර බවට පත් කිරීම ප්‍රධාන වේ. එමෙන්ම වැව් තාවුළු ප්‍රතිපෝෂණය කිරීම, විනාශයට පත් කැළද නැවත වනාන්තර බවට පත් කිරීම, ආගමික ස්ථාන වල පැළ සිටුවීම, අත්හැර දමන ලද ගෙවතු වනාන්තර බවට පත් කිරීම , නාගරික ඉඩම් වල තුරු ඝනත්වය වැඩි කිරීම, වෙරළබඩ නාගරික වන වගාව ඇති කිරීම, මාර්ග දෙපස රුක් රෝපණය කිරීම, වාණිජ වන වගා ස්ථාපනය කිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ.
    වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය 32% ක් දක්වා ඉහළ නැංවීමට මෙ වනවිට කටයුතු කෙරෙමින් පවතී.2023 වසරේදී වන සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා රුපියල් මිලියන 966ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 750 ක මුදලක් තුරු වැස්ම වැඩි කිරීම සඳහා වෙන් කර ඇත.
    මෙම අවස්ථාව සඳහා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ. එම්. ඒ. බණ්ඩාර, ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ටී.ප්‍රේමශාන්ත, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සමන්ති රණසිංහ, එම්.ඩී.රත්නායක ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ඉංගිරිය පොලිස් ස්ථානාධිපති සහ රාජ්‍ය නිලධාරීන් ද, හඳපාන්ගොඩ සාගර පළන්සූරිය මහා විද්‍යාලය හා විබුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරුන්, සිසු සිසුවියන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya