අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය මාර්තු මස 18 දින

    මාර්තු 16, 2023

     

    ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය මාර්තු මස 18 දින

     

    මිනිසා දෛනිකව පෘතුවියේ ඇති සම්පත් බිලියන ගණනක් පරිභෝජනය කරන අතරම පරිභෝජනයෙන් අනතුරුව අපද්‍රව්‍ය ලෙසින් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනු ලබයි.

    එහි ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානය වන විට සම්පත් බොහොමයක් ක්ෂය වෙමින් පවතී. මේ නිසා වැඩිවන දරිද්‍රතාවය, අවතැන් වූ ප්‍රජාවන් ගෙන් සංක්‍රමණ, රැකියා අහිමිවීම, අපද්‍රව්‍ය කඳු සහ ස්වභාවික වාසස්ථාන අතුරුදහන්වීම සමඟ මිනිසාට මහත් පීඩාවක් ඇති කරන්නට විය. මෙයට එරෙහිව සටන් කිරීම සඳහා කල් පවත්නා වෙනස්කම් කිරීමට අපට හැකියාවක් ඇති අතරම ප්‍රතිචක්‍රීයකරණය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 2030 තුළ පිළිගෙන තිබීමත් සමඟ වඩාත් අවධානයට ලක් වන කරුණක් බවට පත්ව ඇත.
    ගෝලීය ප්‍රතිචක්‍රීයකරණය දිනය හඳුන්වා දීමෙන් පෘතුවිය සතු ප්‍රාථමික සම්පත් සුරැකීම සහ පෘතුවියේ අනාගතය සුරක්ෂිත කිරීමට ප්‍රතිචක්‍රීයකරණයේ වැදගත්කම හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසීමකි. අධි පරිභෝජනය, සම්පත් අපතේ හැරීම නිසා අනාගතය පිළිබඳ මානව ප්‍රජාවට අනතුරු ඇඟවීමක් ද මින් නිකුත් කෙරේ. එලෙසම ප්‍රතිචක්‍රීයකරණය ගෝලීය ගැටලුවක් නොවීමටත් මේ සඳහා ලොවටම පොදු ඒකාබද්ධ වූ ප්‍රවේශයක අවශ්‍යයතාව ලෝක නායකයින් හමුවේ පැවසීමට අවස්ථාවක් වූ බව පසුගිය ප්‍රතිචක්‍රීයකරණය දිනය සැමරුම් තුළින් හඳුනා ගත හැකි විය.

    2018 වර්ෂයේදී “ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය” මාර්තු මස 18 වන දින සිට සෑම වසරකම සැමරීමට තීරණය කර ඇත. ප්‍රථම සැමරුම් වර්ෂයේදීම පැරිස්, සිඩ්නි, ඩුබායි, දිල්ලි, වොෂින්ටන් ආදී නගරවල ප්‍රතිචක්‍රීයකරණ දිනයට අදාළ ක්‍රියාකාරකම් රැසක් සිදු වූ අතර ඒ හරහා ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ පණිවිඩය ලොව පුරා මිලියන ගණනක පිරිසක් වෙත ලබාදීමට මින් හැකි විය. එම වර්ෂයේදී ප්‍රතිචක්‍රීයකරණ දිනය එක්සත් ජාතීන්ගේ දැනුවත් කිරීමේ දිනයක් ලෙස පිළිගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ජාත්‍යන්තර ප්‍රතිචක්‍රීයකරණ කාර්යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එහිදී ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ කර්මාන්තවල වැදගත්කම සහ සම්පත් සංරක්ෂණය කරමින් රැකියා හා සංවර්ධය ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී දිරිමත් විය.

    ලොව ප්‍රතිචක්‍රීයකරණය කරන ද්‍රව්‍ය අතර ප්ලාස්ටික්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, වීදුරු සහ කාඩ්බෝඩ් ඉදිරියෙන් සිටිති. යුරෝපය පුරා ඇලුමිනියම් ජනප්‍රිය ප්‍රතිචක්‍රීයකරණය ද්‍රව්‍යක් ලෙසින් නැවත භාවිතය සඳහා බොහෝ ප්‍රතිනිමවුම් ඉදිරිපත් කර ඇත. එලෙසම කඩදාසි, පුවත්පත් හා කාඩ්බෝඩ් ආදී ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමෙන් විශාල ලෙසින් සිදුවන ගස් කපා දැමීමේ නිසා සිදුවන්නා වූ පරිසර හානිය අවම කර ගත හැකි ය. වීදුරු අඛණ්ඩතාව සහ ගුණාත්මක බව වෙනස් නොවන ලෙසින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කිරීමෙන් විශාල සම්පත් හානියක් වළක්වා ගත හැකි ය.

    2023 වර්ෂයේදී ප්‍රතිචක්‍රීයකරණ දින තේමාව ලෙසින් යොදා ගැනීමට තීරණය කර ඇත්තේ “නිර්මාණශීලී නවෝත්පාදනය” (Creative Innovation) යන්නයි. මෙහිදී ප්‍රධාන ලෙසින් ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ නිර්මාණශිලිව සිතීම හා ඵලදායී ස්වරූපයෙන් සිදු කිරීම පිළිබඳ දැනුවත් බව ප්‍රවර්ධනයට අවධානය යොමු කිරීම මෙහි අරමුණුයි. එහිදී නිර්මාණශීලිත්වය යන්න රාමුවකට කොටු නොවී කසළ බඳුනට යන ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය ප්‍රමාණයන් අවම කිරීම,නැවත භාවිතය මෙන්ම ප්‍රතිචක්‍රීයකරණයට පෙළඹවා ගැනීමත් මෙහි තවත් අරමුණුකි.

    ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නොවන අතර උදාහරණයක් ලෙසින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ සියයට 4ත් 11ත් අතර ප්‍රමාණයකි. අවම කිරීම (Reduce) ප්‍රතිභාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය යොදා ගැනීම තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය වඩා සාර්ථකව සිදු කළ හැකි ය. ඒ තුළින් පරිසර දුෂණය අවම කිරීමත් ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයත් ඉතිරි කර ගැනීමත් කළ හැකි ය. එලෙසම ස්වං රැකියාවක් ලෙසින් හෝ අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ ඉවතලන ප්ලාස්ටික් අලෙවියට සහ එක්රැස් කිරීමට යොමුවීම ආර්ථිකමය වශයෙන් ලාභ ඉපයීමට අවස්ථාවක් මෙන්ම නව රැකියා උත්පාදන අවස්ථාවක් බැවින් මේ සඳහා දිරිමත් කිරීමක් සිදු කළ යුතු ය. එබැවින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමට ස්වයං විවේචනාත්මක සමාජ වගකීමක් ඇති විය යුතු ය. මේ සඳහා පුද්ගලයින් ආකල්පමය වශයෙන් පෙළඹවීමක් කරා යොමු කිරීමේ අවශ්‍යයතාව මතු වී ඇත.

    මේ හේතුන් මූලික කර ගෙන පරිසර අමාත්‍යාංශය ද මෙවර ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දින සැමරුම උදෙසා වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සංවිධාය කරනු ලබයි. ඒ අතරට හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සාමුද්‍රීය ප්ලාස්ටික් අවම කිරීමේ ව්‍යාපෘතිය (USAID) සමඟ සංවිධානය කරන ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ බස්නාහිර සහ සබරගමුව පළාතේ පරිසර අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් සහ අපද්‍රව්‍ය එකතු කරන්නන් සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන් සඳහා පවත්වන ලද “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ශිල්පීය ක්‍රම සහ ඒ ආශ්‍රිත ව්‍යවසායකත්ව වැඩසටහනේ” සහතික ප්‍රදානය කිරීමේ වැඩසටහන මාර්තු මස 18 වන දින සිදු කිරීමට නියමිත අතර රාජගිරියේදී ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම විවෘත කිරීමේ වැඩසටහන මාර්තු මස 23 වන දිනට සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මාලාව තුළින් අපේක්ෂා කරනු ලබන්නේ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ සමාජ දැනුවත්භාවය වර්ධනය කර ප්‍රතිචක්‍රීයකරණයට ඇති පෙළඹවීම වර්ධනය කිරීමයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya