අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොයම් කහ පැහැවීමට මුලික හේතුව සොයා ගැනේ

    පෙබරවාරි 08, 2023

    ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවය බවත්, අනෙකුත් රෝග එම පෝෂණ ගැටලු නිසා ඇතිවී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් ගොයම් කහ පැහැවීමේ රෝගය වාර්තා වී ඇති අතර උග්‍ර ලෙස දක්නට ලැබෙන්නේ ඉන් සියයට තුනක පමණ ප්‍රමාණයක වේ.එසේම නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය හා අනෙකුත් දිලීර රෝග ගොයමෙහි පෝෂණ ඌනතාවන් නිසා පහසුවෙන් වැළඳිය හැකි රෝග තත්ත්වයන් බව මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත.

    ගොයම් කහ පැහැවීම සම්බන්ධව (05) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.
    දැනට මෙම ගොයම් කහ පැහැවීමේ රෝගය බහුල වශයෙන් වාර්තාවන්නේ මහවැලි සී හා එච් කළාපවලින් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. මෙම රෝගී තත්වය 2022/23 මහ කන්නයේ සමස්ත අස්වැන්නට බරපතල හානියක් සිදු නොකරන බව මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබේ. දැනට සිදු කර ඇති පසුවිපරම් අනුව මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් පමණ ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    එමගින් මාස 07කට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනය කර ගත හැකිවේ. පසුගිය යල කන්නයේ ද ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති නිසාත්, 2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය සියලු පොහොර එනම් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) , යුරියා සහ බන්ඩි පොහොර (MOP) ලබා දීමට රජය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බැවින් යල කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙයි.


    එසේම මෙම වර්ෂය තුළ රටේ කිසිදු අයුරකින් සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
    කෙසේ වුවද බන්ඩි පොහොර යොදන ලද කුඹුරුවලින් ගොයම් කහවීම වාර්තා නොවේ. එමෙන්ම ගොයම් කහ පැහැ වු කුඹුරුවලට බන්ඩි පොහොර යෙදූ පසු එම කුඹුරුවල කහ පැහැය ඉවත් වී ගොයම සරුවට වැඩී ඇති බව නිරීක්ෂණය කළ බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


    ගොයමට සති 04-06 අතර කාලයේ දී බන්ඩි පොහොර යොදනු ලැබුවේ නම් මෙවැනි රෝග තත්ත්වයක් වාර්තා නොවීමට ඉඩ තිබු බවත් රජය බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කළත් මේ වනවිට ගොවීන් මිල දී ගෙන තිබෙන්නේ මෙට්‍රික් ටොන් 1600ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ නිලධාරීන් පෙන්වා දී ඇත.එසේම බන්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරල් වර්ධනයට අවශ්‍ය පොටෑසියම් හිඟවීම ගොයම් කහ පැහැවීමට හේතු වී ඇති බව පෙනී යන බවත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින් අවධාරණය කර තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya