මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව කමිටුවක් පත් කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

    නොවැම්බර් 28, 2022

    ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව විශේෂ මැදිහත්වීමක් කරන ලෙසද ඒ සඳහා කමිටුවක් පත්කරන ලෙසද, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    එමෙන්ම කැළණි වැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා සොයාබැලීමට අනු කමිටුවක් පත්කරන ලෙසද ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

     එමෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගයේ මාකුඹුරේ සිට අවිස්සාවේල්ල දක්වා පොළොව දිගේ දුම්රිය මාර්ග දෙකක් ඉදිකරන ලෙසත්, කොළඹ සිට මාකුඹුර දක්වා පොළෙව මත හෝ කණු යොදා දුම්රිය මාර්ග දෙකක් ඉදිකරන ලෙසත් ඔහු ප්‍රවාහන හා මහා මාර්ග අමත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. මෙමගින් කිලෝමීටර් 65ක් වන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පැය 3ක් වන දුම්රිය ගමන පැයක් දක්වා අඩුකරගත හැකි බවත් ඉන්ධන ඉතිරි කරගත හැකි බවත් මන්ත්‍රීවරයා පැවසිය.

     

    ඉන්දියාවේ මෙන් සූර්ය ශක්තිය මගින් විදුලිය ලබාගෙන විදුලි දුම්රිය 2023 දී වත් ඇති කිරීමට උත්සාහ ගතයුතු බවත්, මහජනතාවගේ ප්‍රවාහන අයිතිය සම්බන්ධයෙන් බලය පවරා ඇති මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත් බලාත්මක කළ යුතු බවත්, මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

     

    2023 අයවැයේ, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යංශවල කාරක සභා අවස්ථාවේ විවාදයට (28 දින ) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා;

     

    "මූලාසනාරූඩ ගරු මන්ත්‍රීතුමණි,

     

    වේගයෙන් ගමන් කරන වර්තමාන ලෝකයේ ඕනෑම ආර්ථිකයක ගාමක බලය වෙන්නේ ගමනාගමනයයි කියන එක අවිවාදයෙන් අපිට කියන්න පුළුවන්.

    ගමනාගමනය අනිවාර්යයෙන්ම බලශක්ති මත රඳා පවතිනවා. දැනට අධික ලෙස ආනයනය කරන ඉන්ධන මත රඳා පවතින අපේ රටේ ප්‍රවාහන පද්ධතිය පුනර්ජනනීය විදුලියෙන් බලගන්වන්න මෙතෙක් ප්‍රමාද වීම නිසා බලශක්ති අර්බුදයක් මෙන්ම ගමනාගමන අර්බුදයක් හරහා ආර්ථිකය හිරවෙලා කොටුවෙලා.

    දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉල්ලා සිටිනවා ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් සහ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදාගන්න මේ පාර්ලිමේන්තුවේ විශේෂ මැදිහත් වීමක් කරන්න ඕනා කියලා

    විශේෂයෙන් මහජනතාව, භාණ්ඩ, සත්වයින්, ආහාර බෙහෙත් ආදිය ප්‍රවාහනයට ජාත්‍යන්තර ගුවන් නැව් ගමනාගමනය වගේම දේශීය මුහුදු තීරය මහා මාර්ග, අධිවේගී මාර්ග, අතුරු මාර්ග, දුම්රිය මාර්ග, අභ්‍යන්තර ජල මාර්ග හරහා එහෙ මෙහෙ ගෙනයාම,
    තාක්ෂණ කරුණු පමණක් නොවේ මානුෂික ලෙස බලා අබල දුබල වෙච්ච අය, බාලයන්, වැඩිහිටියන්, කාන්තාවන් ආරක්ෂිතව යන්නේ එන්නේ කොහොමද කියන එකත්,ලාබ ලබන්න ඕනා වගේම පරිසරය රකින්නේ කොහොමද මේ ගැන දෙස් විදෙස් නීති රීති භාවිතාවන් මොනවාද,

    ආදී වශයෙන් සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනයන් සිදුකර මේ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට පාර්ලිමේන්තු කමිටුවක් කටයුතු කරන්න ඕනා.

    ඒවගේම කැලණිවැලි දුම්රිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනුකමිටුවක් වහාම නම් කරලා වැඩපටන් ගන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
    අවුරුදු 165ක් පරණ දුම්රිය දෙපාර්තමේන්තුව වැරදි පීලිවල යන්න නොදී දැන් හරි පීල්ලකට දාගන්න ඕනා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න බොහෝ දක්ෂ ඈයෝ කියනවා.

    එහෙම කියන්නේ අපේ රටේ වාහනවලින් 15%ක් සමස්ත ප්‍රවාහනයට පාවිච්චි කරන තෙල් වලින් භාගයක් 50%ක් පුච්චන නිසා. මේක මීට වඩා කාර්යක්ෂම කරන්න ඕනා. පොදු ප්‍රවාහනය මීට වඩා ආකර්ෂණීය කරන්න ඕනා නේද?

    අද ලංකාවේ ජනාකීර්ණ ම හා අධිකත ම වාහන ඝනත්වයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ කැලණිවැලි ප්‍රදේශයේ දැනට දිනපතා දුම්රිය පාවිච්චි කරන්නේ විසිදහසක් විතර පිරිසක්. අපිට මේක 2023 වසරේ අවසානය වෙන කොට ලක්ෂයක් 100,000 කරගන්න පුළුවන්.

    ළඟම උදාහරණ බලමු. අල්ලපු රටේ බටහිර වෙරළේ දුවන කෝච්චිය. මුම්බායි ඉඳන් ගෝවා දක්වා කිලෝමීටර 400ක විතර දුරක්. විදුලි බලෙන් කෝච්චියක් දුවනවා. මේ වෙනකොට සම්පූර්ණ විදුලි උත්පාදනය සූර්ය ශක්තියෙන්. සම්පූර්ණ වායු සමීකරණය කරලා ආලෝකරණ අන්තර්ජාල පහසුකම් සහිතයි. ඔබතුමා පසුගිය දවසේ එහෙ ගියාම මේ දියුණුව දකින්න ඇති.

    ඒ පායන සූර්යාම ඒ වෙලාවටම ලංකාවටත් ඇණිය දෙනවා, ශක්තිය දෙනවා. කැළණිවැලිය නම් දුවන්න තියෙන්න කි.මි. 65යි. ඒත් අපි තාම කූරු ගානවා. මේක 2023 වසරේ අනිවාර්යයෙන්ම හදාගන්න ඕනා.

    වැවිලි කර්මාන්තය සඳහා එලපු මාර්ග පද්ධතිය මගී හා භාණ්ඩ ප්‍රවාහනයට දියණු කරන්න ඕනා. කොස්ගම ඉඳන් අවිස්සාවේල්ල අතර පමණක් හතර වතාවක් හයිලෙවල් පාරයි කෝච්චි පාරයි මාර්ග හරස් වෙවී පැති මාරු කරගන්නවා. අනෙක් වාහන නවත්වා ගෙන බලන්න ඉන්නවා. මේක දිනපතා මොනතරම් ඉන්ධන හා කාලය නාස්තියක් කරනවා ද ?

    ඇමතිතුමනි, මේ ආයතන දෙකම කාලෙකට පස්සේ එකම අමාත්‍යාංශයක් යටතේ. මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව අතර මේක විසඳාගන්න තියෙන එකඟතාවය 2023 වසරේ පළමු කාර්තුවේදී ම සම්පූර්ණ කරන්න කියලා මතක් කර සිටිනවා.

    කැලණිවැලි මාර්ගයේ මාකුඹුර ඉඳන් අවිස්සාවේල්ල දක්වා වැඩි වියදමක් නැතිව පොළව දිගේ ට්‍රැක් දෙකක් දාන්න ඕන තරම් ඉඩ තියෙනවා.

    කොළඹ හා මාකුඹුර අතර පොළව දිගේ ඉඩ නැත්නම් කණු උඩ හරි ට්‍රැක් දෙකක් ගෙනියන්න ඕන. එතකොට කෝච්චියත් වේගවත්. නගරවල හරස් මාර්ග ළඟ දිනපතා නතර වෙලා බලන්න දහස් සංඛ්‍යාත වාහන වල ඉන්ධනත් කාලයත් දෙකම ඉතිරියි.

    එහෙම කලොත් දැනට ගන්න සමස්ත කාලය පැයකටත් වඩා අඩු කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කියන එක තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේම තියෙන විශ්වාසය.

    වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා. මරදානේ ඉඳලා කහහේනට රුපියල් 120ක් විතර දැන් ගන්නවා. මේ මුදල් ලංකා ආණ්ඩුවේ වලංගු කාසි හා නෝට්ටු වලින් හරියටම හොයලා දෙන්න ඕනා. එහෙම දුන්න ඒක හරිද කියල කවුන්ටරේ ඉන්න කෙනා ආයේ ගණින්න ඕනා. නැත්නම් ඉතිරි බලාගෙන රු150ක් දෙන්න ඕනා. දවස අවසානයේ ඔය කවුන්ටරයේ කෙනා මුදල් නෝට්ටු කාසි ටික නැවත ගණන් කරන්න ඕනා. වෙනසක් නැතුව හරි නම් සීල් තියලා ඒ කෝච්චියේම කොළඹ යවන්න ඕනා. හැම දුම්රිය පොළකින්ම ඔහොම කොළඹ එන මලුවල එකතුව නැවත බලනවා බැංකුවේ අයත් එක්ක. අඩුවක් පාඩුවක් නැත්නම් ගිණුම් ගත කරනවා. එතකොට දිනපතා සිදුවන සෑම ගණුදෙනුවක්ම හතර පස් වතාවක් ගණන් කරනවා.

    මේක ඉංජිනේරු ප්‍රශ්නයක් නෙමෙයි කියන එක ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් සීයයක් විතර ලියපු ඇමැතිතුමාට හොඳට තේරෙනවා.

    122 බස් එකක ගමේ ඉඳන් කොළඹ එන්න යන වියදම කෝච්චිය වගේ දෙගුණයක්. රු 250කට වඩා යනවා. මේ විදිහට ඒ කියන්නේ දවසකට බස්නාහිර පළාතේ පමණක් රු බිලියන එකකට වඩා ගනුදෙනු ලංකා ආණ්ඩුවේ වලංගු කාසි හා නෝට්ටු වලින් පමණක් බස් මගීන් අතින් සිදුවෙනවා.

    මේකට කාර්යක්ෂම හා ආකර්ෂණීය ක්‍රමවේදයක් යොදන්න ඕනා නේද ?

    බස් ජනසතුවෙන් නව පණක් ලැබු ආර්ථිකයේ ගාමක බලය ලබා දෙන්න අද වෙනකොට ලංගමය සමඟ පෞද්ගලික බස්රථද ගමනාගමන ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතරම තනි පුද්ගල ත්‍රිරෝද රථ හා කුලි රථ සේවාවන් අද වන විට විශාල ප්‍රමාණයක් ඉදිරියට ඇවිත් මේ සේවාවට එක්වී තියෙනවා.

    ඒනිසා මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු මහනගර සභා ආඥාපනතේ 61, 62, 63 වගන්ති, නගර සභා ආඥා පනතේ 57, 58, 59, වගන්ති වගේම, ප්‍රාදේශීය සභා පනතේ 34 වගන්තිය, මහජනතාවගේ ප්‍රවාහන අයිතිය සම්බන්ධයෙන් බලය පවරා තියෙනවා. එය බලාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව තිබෙනවා. විවිධ වූ පලාත් පාලන ආයතන අතර සංකලනයන් මඟින් එය කරන්න පුළුවන්.

    තව එක් කාරණාවක් දෙකක් කෙටියෙන් කියලා මගේ කතාව අවසන් කරන්න ඕනා.

    අපේ රටේ වාහනයක් මහ පාරේ දුවන්න ඕනා නම් අනිවාර්යයෙන්ම රක්ෂණයක්, තුන්වන පාර්ශවයේ එකක් හරි තියෙන්න ඕනා. එහෙම නම් මේ රථවාහන රක්ෂණ වලින් යම් සුළු ප්‍රතිශතයක් ගමනාගමන භාරයකට අයකර ගන්න ඕනා.

    ඒ ප්‍රතිපාදන පොදු ප්‍රවාහන දියුණුව සඳහා සහ මාර්ග නඩත්තුව සඳහා පමණක්ම යොදවන්න ඕනා. මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් ගෙන එන්න කියන ඉල්ලීම කරන්නවා.

    2023 දී තවත් තවත් හැරි හැරි බල බලා ඉන්නෙ නැතිව මග හැරුණු ගමන් ගැන හිත හිතා ඉන්නේ නැතිව හරි පීල්ලේ ඉදිරියටම යන්නට සුබ පතමින් ස්තුති පූර්වකව නිහඬ වෙනවා."

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya