අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබඳ ලිඛිත වාර්තාවක් කැඳවන්න

    නොවැම්බර් 24, 2022

    චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබඳ ලිඛිත වාර්තාවක් කැඳවන්න - ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්

     ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ආගමික කල්ලියක බලපෑම් තිබේද ?
     පසුගිය ලෝක කුසලානයට සහභාගීවූ නිලධාරීන්ට සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක් ගෙවලා...
     බෙල්වුඩ්, හොලිවුඩ් සහ බොලිවුඩ් තත්ත්වයට සංවර්ධනය කිරීමට පියවර...

     

    පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුනනේය.

    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.

    මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ. එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දුන්හ.

    බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයබෙල්වුඩ් ඊස්තටික් ඇකඩමි ලෙස NVQ 6 ජාත්‍යන්තර පිළිගැනීම සහිත සහතිකය ලබා දීම සඳහා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදි දැනට පවතින විෂයන්ට අමතරව රංගනය, වේෂ නිරුපණය, රූපවාහිනි සහ සිනමා නිශ්පාදන තාක්ෂණය ආදි විෂයන් අලුතින් ඇතුලත් කිරිමටද පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය සියළු තාක්ෂණ උපකරණ සහිත මැදිරි සංකීර්ණයක්ද ඉදි කොට 2023 දී එය හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා කර්මාන්ත වල තත්ත්වයට උසස් කිරිමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී බෙල්වුඩ් ආයතනයේ දරුවන් වර්තමානයේදී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු රැසක් දක්නට ලැබුණු බවත් විශේෂයෙන් ම ඔවුන්ට පුර්ණ කාලින විදුහල්පතිවරයෙකු නොමැතිකම, ආහාරපාන ගැටළු, ගමනාගමන පහසුකම් පිළිබද ගැටළු පිළිබදව අමාත්‍යවරයා විසින් අවධානය යොමු කොට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ මන්ත්‍රීවරු සිය ස්තූතිය පළ කළහ.

    බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයපිහිටා ඇති අක්කර 50ක භූමියේ පිහිටි තට්ටු 4ක ගොඩනැගිල්ල 2015 -2019 කාලයේ සිටි සභාපතිවරයා විසින් කඩා ඉවත් කිරිම පිළිබඳ වහා සොයාබලා එයට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය. ලංකාවේ ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ හොකී ක්‍රීඩා පිටියේ තණ තීරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා ප්‍රමිතිගත මට්ටමේ නොමැති බව මෙහිදි සාකච්ඡා විය. එය නැවත සකස් කොට හොකී ක්‍රීඩාව වෙනුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳ මන්ත්‍රීවරු මෙහිදී අදහස් පළ කළහ. මෙහිදී නිලධාරින් සඳහන් කළේ 50% මූල්‍ය දායකත්වයක් ලංකාව විසින් දැරීමේ පදනම මත ආසියානු හොකී සම්මේලනය විසින් එය සංවර්ධනය කිරිමට එකඟවී ඇති බවයි.

    එමෙන්ම, දියගම ක්‍රීඩාංගනයේ සින්තටික් ධාවන පථය අබලන්වී තිබිම සම්බන්ධවද මෙහිදී අදහස් පළ වූ අතර, ඒ හේතුවෙන් සුගතදාස ක්‍රිඩාංගනය හැරුණු කොට ක්‍රීඩකයන්ට පුහුණුවීම් සිදු කිරිමටවත් ධාවන පථයක් නොමැති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

    මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රිඩාගාරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා වර්ෂා සමයේදී තෙමීමට ලක්වීම නිසාවෙන් අබලන් වී ඇති බව මෙහිදී සාකච්ඡා විය. ජපාන ආධාර සහ තාක්ෂණය උපයොගී කොට ගනිමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපාන තානාපති කාර්යාලය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව තරුණසේවා සභාවේ සභාපතිවරයා පැවසීය.එමෙන්ම තරුනසේවා සභාව විසින් උපයනු ලබන ආදායම් එහි නඩත්තු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය.

    පළාත් සභා ක්‍රියාත්මක නොවීම නිසා පළාත් සහ ප්‍රාදේශිය ක්‍රීඩාවන් විනාශ වෙමින් පවතින බව මෙහිදී අවධාරණය වූ අතර එය ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිවීම කෙරෙහිද නිශේධනාත්මකව බලපාන බැවින් ඒ පිලිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙසද මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. රටපුරා පවතින විවිධ ක්‍රීඩා සම්මේලන වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බවටද මෙහිදි අදහස් පළ විය. ක්‍රීඩා සංගම් කාරක සභාව වෙත කැඳවා සාකච්ඡා කිරිමේ හැකියාව පිළිබඳ මෙහිදී අදහස් පළ වූ අතර, සභාපතිවරයා කමිටු ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරන ලෙසයි.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya