අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    22 ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙමු - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

    ඔක්තෝබර් 06, 2022

    ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය ලෙස නොව සියලු දෙනා එකතු වී සාකච්ඡා කර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, (06 දින ) පාර්ලිමේන්තුවේදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

    එමනිසා කතානායකවරයාද සමග සාකච්ඡා කර සියලු පාර්ශ්වයන් එකඟතාවකට පැමිණෙන්නේ නම් වඩා හොඳ බව ඔහු කියා සිටියේය.

    ඔහු මෙම අදහස් පළ කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉතිහාසය, වර්තමානය සහ පසුබිම විස්තර කරමිනි. විපක්ෂ නායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ආදී විපක්ෂයේ නායකවරුන් සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් උත්තර සභාගයේ නායකයන් පිරිසක් සමගද 2022.10.05 දින තමන්, මේ පිළිබඳ සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    " ගරු කතානායකතුමනි, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුබිමක් හා වර්තමානයක් තිබෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම රජය මගින් සිදුවුණේ, මාස ගණනාවක සාකච්ඡාවෙන් පස්සේ. ඇත්ත වශයෙන් මේ වසරේ, 2022 මුල් භාගයේදී මේ පිළිබඳ පළමු යෝජනාවන් සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. අද විපක්ෂයේ ඉන්න බොහෝ දෙනා ඒ අවස්ථාවලදී යෝජනාවන් ඉදිරිපත් කළා. ගරු ව්‍යවස්ථා කටයුතු පළිබඳ අමාත්‍යතුමාත් ඒ අවස්ථාවේදී අමාත්‍යතුමා හැටියට නොවුනත් ඒ යෝජනාවන් ඉදිරිපත් කළා. ඒ අනුව එවකට ජනාධිපතිතුමත් මාර්තු මාසයේ තුන්වෙනි සතියේ සාකච්ඡා වාරයක් පැවැත්වූවා. එයට සර්ව පාක්ෂික සහභාගිත්වයක් ඇති වුණා.

    ඉන් ආරම්භ කරපු මෙම ව්‍යවස්ථා සංශෝධනය අතරතුර පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන්ද පනත් හැටියට ව්‍යවස්ථා සං‍ශෝධනයන්ට ඉදිරිපත් වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණ ප්‍රකාශයට පත් කළා. ඒ තීරණයන් සභාවටත් රටටත් දැනගන්නට ලැබුණා.

    දැන් ඉදිරිපත් වී තිබෙන 22 වෙනි සංශෝධනය ව්‍යවස්ථා හා අධිකරණ අමාත්‍යතුමා විසින් පැහැදිලි කරයි.

    ඒ පසුබිම ඇතුව හිටපු ජනාධිපතිතුමත් මේ 22 වෙනි ව්‍යවස්ථාව ඇති කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල හා පක්ෂ එක්ක සාකච්ඡාවන් පැවැත්වූවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා හැටියටත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පක්ෂ, කීපවතාවක් කැඳවා සාකච්ඡා කළා. මමත්, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමත්, පොදුජන පෙරමුණේ සභාපතිතුමා හැටියටත්, මම සභානායකතුමා හැටියටත් එයට සහභාගී වුණා. අනිත් පක්ෂ විපක්ෂයේ ඉන්න ඔක්කොම පක්ෂවල නියෝජිතයන් සහභාගී වුණා. වාරයක් දෙකක් නොවේ කීපවාරයක් එය සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. ‍

    ස්වාධීනව ඉන්න මන්ත්‍රීවරු පවා එම සාකච්ඡාවට සහභාගී වී තමයි මේ කෙටුම්පතට ගමන් කළේ.

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ජනාධිපතිතුමා හැටියට පත්වීමත් සමඟම යළිත් වරක් අමාත්‍ය මණ්ඩලය තමයි ගරු කතානායකතුමනි මෙය සාකච්ඡාවට ලක්කරලා මෙය ප්‍රකාශයට පත්කොට අදාළ ගැසට් නිවේදනය අමාත්‍ය තුමා විසින් නිකුත් කරනු ලැබුවා.

    මම මේ ටික කෙටියෙන් කියන්නේ. ඒ හැම අවස්ථාවකදීම ඔබතුමන්ලා විශේෂයෙන් විපක්ෂය ඉල්ලා සිටියා මේ කටයුතු ඉක්මන් කරන්න කියලා. ඒ නිසා එය ඇමතිතුමා ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම්කරුවන් විසින් ගමන් කළා. ආණ්ඩුක්‍රම සංශෝධනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන කරුණු ගරු කතානායකතුමා වෙත ලැබී මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළා. ඒ අනුව තමයි මේ විවාදයට පැමි‍ණෙන්නේ.

    මම ඉතාම ඕනෑකමින් හා කෙටියෙන් කියන්නට ඕනි ඊයේ ( 05) දිනයේ විරුද්ධ පක්ෂයේ නායකතුමාත්, විරුද්ධ පක්ෂයේ නායකතුමා සමඟ සංවිධායක තුමාත්, රාවුෆ් හකිම් මන්ත්‍රීතුමාත් ඒ වගේම අපේ මනෝ ගනේෂන් මැතිතුමා මේ නියෝජිත පිරිස සමඟ අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී යම්කිසි මූලික කරුණු කීපයක් ගැන එකඟතාවය මත 22 ට සහයෝගය දක්වන්න පුළුවන් බව ප්‍රකාශ වුණා. නමුත් මෙය පස්වරුවේ යළිත් ස්ථිර කරන බව තමයි අපි සාකච්ඡාවෙන් විසිර ගියේ. මේ බව සභාවට දැනුම් දීම මගේ යුතුකම.

    ඉන් අනතුරුව උත්තර සභාවට අයත් පක්ෂ නායකයන් සමග මම සාකච්ඡාවක් පැවැත්වූවා. එම සාකච්ඡාවේදීද බොහෝම හොඳ ප්‍රතිචාරයකින් තමයි එම සාකච්ඡාව හමාර වුණේ. 22ට සහයෝගයක් දැක්විය හැකි, ඒ වෙනස්කම්වලට භාජනය වෙනව නම් ඒ එකඟවිය හැකි කරුණු ගැන කල්තියා දැනගතයුතු බව. ඒ අනුව වාසුදේව නානායක්කාර මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පක්ෂ නායකයන් එම අවස්ථාවේදී පැමිණියා. ඒ අනුව සාකච්ඡාවට මමත් ප්‍රසන්න රණතුංග සංවිධායකතුමත් සහභාගි වුණා. ඒ තත්ත්වය තුළ මේ සාකච්ඡාව බෙහෝම සුහදව හමාර වුණා.

    නමුත් මට ප්‍රකාශ කරන්නට පුළුවන් වුණේ අපේ ආණ්ඩු පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ඒ වගේම සභානායකතුමා වගේම සංවිධායකතුමත් මේ පිළිබඳ දන්නවා. ඒ නිසා පස්වරුවේ අපට ලැබෙන ප්‍රතිචාරය අපි බලාපොරොත්තුවෙන් සිටියා. මට සංවිධායක කිරිඇල්ල මැතිතුමා ඒ අනුව පස්වරුවේ හමුවුණු අවස්ථාව අනුව එයට සහයෝගය දක්වන්නට අමාරුයි විරුද්ධ පක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ තමන් දක්වන සාකච්ඡාව අනුව සහයෝගය දක්වන්නට අමාරු බව ප්‍රකාශ වුණා. බොහෝම කණගාටුයි.

    මම ඒ අවස්ථාවේදීත් කිව්වා අපි ඔබතුමාලා සියලු දෙනා එක්වෙලා මෙය සම්මත කිරීමටයි කටයුතු කළ යුත්තේ. එය තමයි ඔබතුමාලගේ පරමාර්ථය හා පාර්ථනාව. එය මුදුන්පත් කිරීමට අපි කටයුතු කරමු කියලා. මේ තත්ත්වය මත උදේ හා දවල් තිබුණු තත්ත්වය වෙනස් වී වෙන තත්ත්වයකට පරිවර්තනය වී තිබෙන බව මම සභාවට හා ආණ්ඩු පක්ෂයට දන්වා සිටියා. ඒක මගේ යුතුකම. ඒ අනුව ජනාධිපතිතුමා වෙතත් දැනුම් දුන්නා.

    මේ නිසා අපේ බලාපොරොත්තුව, අපේ ජනාධිපතිතුමත් දැන් ආර්ථීක තත්වය ගැන කළ ප්‍රකාශනයේදී ඉතාම වැදගත් ගැඹුරු ඒ වගේම අපේ රට මුහුණ දෙන අභියෝගය හමුවේ ගන්නා වූ ක්‍රියාමාර්ග හා දැනට ඇති වී තිබෙන ඵලදායීත්වය පිළිබඳ කරුනු පැහැදිලි කළා. ඒ වගේ ආයාචනය කළා යළිත් සියලු දෙනාට අත්වැල් බැඳගෙන අපේ රට මේ අභියෝගයෙන් ජය ගන්න ගමනට විපක්ෂයේ දේශපාලන පක්ෂ හෝ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ හැටියට හිතන්නේ නැතිව එකතුවෙලා කටයුතු කරන්න කියලා.

    ඉතිං අපි විශ්වාස කරනවා ඊයේ සවස ගරු සංවිධායකතුමා විපක්ෂය වෙනුවෙන් කරන ලද දැන්වීම, මෙයට සහයෝගය දැන්වීමට අමාරු තත්ත්වයක් තිබෙන බව, වෙනස් කර ගැනීමට තීරණය කර තිබෙනවද කියන එක, සභාවට දන්වන්නේ නම් මේ කටයුතු වඩාත් හොදින් කරගෙන යාමට පුළුවන් තත්ත්වයකට 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කරන්න ගරු අමාත්‍යතුමාට, රජයට ඒ වගේම සභානායකතුමාට පුළුවන්කම ඇතිවෙයි. ඒ නිසා වඩා හොඳයි අපි එකතුවෙලා සාකච්ඡා කරලා මේ කාරණාව පුළුවන්තරම් දුරට එකඟතාවයට පත්වී සාර්ථක කරගැනීමේ උත්සහයට ගරු කථානායකතුමත් මැදිහත් වී සාතච්ඡාවක් පවත්වන්නේ නම්."

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya