අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝදර, කජීමා වත්තේ ගින්න සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක්

    සැප්තැම්බර් 29, 2022

     අගමැති සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි...
     වසර එකහමාරක් ඇතුළත තුන්වරක් ගිණි ගනී...
     අනවසර පදිංචිකරුවන් පදිංචිවුනේ 2015 න් පස්සේ.. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිවේ..

    මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිණි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන්  සතියක් ඇතුළත විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (28) නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙම වතු නිවාස පෙළ නිරන්තරයෙන් ගිණි ගැනීමට ලක්වීම සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (28) රැස්වීය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය -

     
    මේ වතුනිවාස පෙළ නිරන්තරයෙන්ම ගිණි ගැනීමට ලක්වෙනවා. පසුගිය වසර එකහමාරතුළ තුන්වරක් ගිණි අරගෙන තියෙනවා. ඒ නිසා මේ ගිනි ගැනීම් සහ එයට එහේතුව හොයාගන්න විධිමත් පරීක්ෂණයක් කරමු. ඒ වාර්තාව අරගත්තට පස්සේ විධිමත් වැඩපිළිවෙලක් යොදමු. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා - මේ නිවාස ටික ගිය අවුරුද්දෙත් ගිණි ගත්තා. විටින් විට ගිණි ගන්නවා. තාවකාලිකව පදිංචි කරපු අය ඉවත් කරන්න පුළුවන්ද?

     
    මෙම වත්තේ පදිංචිවෙලා ඉන්න අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගනිමු. මේ පදිංචිවෙලා ඉන්න සමහර අය බදුල්ලේ. ඒ වගේ අයට ඒ ප්‍රදේශවල නිවාස ලබාදෙමු. නැත්තන් මේක ලොකු ප්‍රශ්නයක් වේවි. රජයේ මුදලින් ගෙවල් හදන්න බැහැ. මේ ගින්න ගැන විදිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඉතාම ඉක්මනින් වාර්තාවක් කැඳවමු. කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා මෙසේ පැවසීය.

    මෝදර, කජීමා වත්තෙ නිවාස පෙළෙහි ඇතිවූ ගින්න සම්බන්දයෙන් සොයා බලා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා. දැනට එහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් අතරමැදි කඳවුරක් ලෙස පවත්වාගෙන යනවා. මෙම වත්තෙහි දැනට නිවාස 220ක් ඉදිකර තිබෙනවා. එහි පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. මෙහි සිටින බහුතරයක් දෙනා අනවසර පදිංචිකරුවන්. කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙන අතර නිවාස 11 කට අර්ධ හානි සිදුව තිබෙනවා. නිවාස ගිණි ගැනීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 306 දෙනෙකු අවතැන්ව සිටිනවා. මේ වනවිට අවතැන්වූ සියලුම පුද්ගලයන් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ නතර කර සිටිනවා. ඔවුන් සියලුම දෙනාට
    අවශ්‍ය කෑම බීම ලබාදෙන අතර සර්වෝදය ආයත‍නයේ මැදිහත්වීම මත අවතැන්වූ ළමුන්ට අවශ්‍ය පාසල් ඇඳුම්,සපත්තු හා පොත් ලබාදෙනවා.

    කජීමා වත්ත ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරී ප්‍රදීප් පෙරේරා මහතා-

    පසුගිය වසර එකහමාර තුළ මෙම නිවාස පෙළ ගිණි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවටයි. 2021 වසරේ ඇතිවූ ගිණි ගැනීමෙන් නිවාස 27ක් විනාශ වුණා. මෙහි සිටින බහුතරයක් දෙනා අනවසර පදිංචිකරුවන්. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි අතරමැදි කඳවුරක් පවත්වාගෙන යනවා. මෙම වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙනවා. ස්ථීර නිවාස ලබාගත්තත් ඔවුන් මේ වත්තේම පදිංචිව සිටිනවා. අවුරුදු තුනකට පෙර මෙහි තිබුනේ නිවාස 160යි. නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්ව ඉන් ගෙවල් 60ක් විතර ඉවත් කළා. නමුත් පසුගිය කොරෝනා සමයේදී මෙම වත්තේ අනවසර ඉදිකිරීම් වැඩිවුණා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා - 2007/08 වර්ෂවල දෙමටගොඩ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලයේදී
    එම ප්‍රදේශයේ පදිංචිකරුවන් තාවකාලිකව කජීමා වත්තේ පදිංචි කළා. එදා සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය අතරමැදි කඳවුරක් ලෙස භාවිතා කරනවා. මේ පදිංචිවෙලා ඉන්න සියලුම දෙනාට 2014 දි නිවාස ලබාදී මෙම භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත්තා. දැනට තාවකාලික කඳවුරු අවශ්‍ය නැහැ. අත්‍යාවශ්‍ය වෙලාවට මිනිස්සු නතර කරන්න අවශ්‍ය තරම් ගෙවල් තියෙනවා. කලින් ගෙවල් දීපු අයගේ නාමලේඛණයක් තියෙනවා.

    නාගරික සංවර්ධන අධිකාරිය පදිංචි කරලා තියෙන්නේ පවුල් 20යි. ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන්. 2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වුණා. නගර සභාව විසින් මේ සියලුම නිවාසවලට වරිපනම් අංක ලබාදී ජලය, විදුලිය ලබාදී තිබෙනවා. එමෙන්ම ඔවුන් ඡන්ද හිමි නාමලේඛණයට පවා ඇතුළත් කරලා. කොළඹ තවත් මේ වගේ වතු නිවාස තිබෙනවා. නමුත් නිරන්තරයෙන්ම ගිණි ගන්නේ කජීමා වත්ත විතරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පැලපත් නිවාස 68000 කට නිවාස ලබාදෙන්න කටයුතු කරනවා. නමුත් මේ විදියට ගෙවල් දෙන්න ගියොත් ගෙවල් ලක්ෂ දෙකක්වත් දෙන්න වෙනවා. එහෙම වුනොත් අපිට අපේ ඉලක්කය සපුරාගන්න බැරිවෙනවා. නාගරික සංවර්ධන අධිකාරියත් පාඩු ලබන ආයතනයක් බවට පත්වේවි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ඉරාන් වික්‍රමරත්න, මධුර විතානගේ, යදාමිණී ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්,සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya