අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කළේ විදේශ ගත ශ්‍රමිකයින්ට ප්‍රතිඋපකාරය පළ කිරීමටයි - අමාත්‍ය මනුෂ නානායක්කාර

    සැප්තැම්බර් 27, 2022

    මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වූ බවත්, ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය

    ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව විදේශ රැකියාවේ නිරතවූවන්ගේ විශ්‍රාමික දිවිය සවිමත් කිරීම සඳහා හඳුන්වා දෙන “මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කරමිනි.

    විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය අනුව විදේශ ගත ශ්‍රමිකයා ලබාදෙන දායකත්ව මුදල සහ කාලය අනුව ලබාගන්නා විශ්‍රාම වැටුප තීරණය වේ. ඒ අනුව වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසුව විශ්‍රාම වැටුප ලබාගැනීමට හැකිය.

    “මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කළ අමාත්‍යවරයා,

    අපට වුවමණා වුණේ රටට සලකන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් මනුස්සත්වයේ නාමයෙන් ප්‍රතිඋපකාර දැක්වීමට පමණයි. අද මේ අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කැප වුණු ඒ මිනිස්සු වෙනුවෙන්, රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික ගන්න උපකාර කරන, ඒත් මෙච්චර කාලයක් නොසලකා හැරි ඒ පිරිස වෙනුවෙන් උපරිමය කරන්න පමණයි.

    අද අපිට පුළුවන් වුණා මනුසත්කමේ නාමයෙන් විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කරන්න. සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙහි සුවිශේෂී වැඩ කොටසක් කළා. මනුසවි විශ්‍රාම වැටුප යථාර්ථයක් කර ගැනීමට සහයෝගය දීපු ඒ සියලු දෙනාට ම මනුෂ්‍යත්වයේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා.

    විදෙස්ගත වන අවස්ථාවේ දී ම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ හැකියි. ස්වකීය අභිමතය පරිදි මාසික ව ඩොලර් එකොළහක මුදලක් වසර හතරක් තිස්සේ මෙයට යොමු කළොත් පනස් පහෙන් පසු රුපියල් විසිදහසක ආරම්භක තලයේ මාසික විශ්‍රාම වැටුපක් හිමි වෙනවා.ඒක ආරම්භක තලය. එහෙත් තමන්ට කැමැති සැලසුමක් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ වැටුප සහ කැමැත්ත අනුව අනාගත විශ්‍රාම දිවිය සැලසුම් කර ගන්න නිදහස තියෙනවා. ඉදිරියේ දී මෙය තවත් වැඩි දියුණු කිරීමට, මෙහි ප්‍රතිලාභ තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා. සමාජ ආරක්ෂණ අමාත්‍යංශය, සමාජ ආරක්ෂණ මණ්ඩලයට එහි ප්‍රමුඛ වගකීමක් හිමි වෙනවා.

    අපිට අවශ්‍ය රටේ මිනිස්සු හොද සමාජ ආරක්ෂණ වැඩපිළිවලක් තුළ ස්ථාවර කිරීමට. සමාජයේ සෑම පුද්ගලයෙක් ම ආරක්ෂා කළ හැකි සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කිරීමට. මේ සුරක්ෂිතභාවය නොමැති නිසා ම දැඩි පීඩණයකට ලක් වුණු රටක් තමයි අපි. මිනිහෙක් වැටෙන වෙලාවට සුරක්ෂිතව අල්ලා ගන්න, රැකබලා ගන්න ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීමට කම්කරු අමාත්‍යංශය විදියට වැඩපිළිවලක් සකස් කරගෙන යනවා. ඒ මේ රටේ කම්කරුවා වෙනුවෙන්. රැකියාව අහිමි වීමක දී, වන්දියක් ලබාගත යුතු අවස්ථාවක දී, අර්ධ හෝ පූර්ණ දුබලතාවක දී, සෞඛ්‍ය පහසුකම් මෙන් ම හදිසි අභාවයක දී කොහොමද අපේ කම්කරුවන් රැක ගන්නේ, එය විශ්‍රාම වැටුපක් දක්වා වර්ධනය කරන්නේ කෙසේ ද යනාදී වශයෙන් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විදියට අපි සලකා බලමින් ඉන්නවා, යනුවෙන් ද පැවැසීය.

    එහි දී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පවසා සිටියේ ය.

    ‘රටේ ක්‍රමානුකූල ව ගොඩනැගුනු ආර්ථික ප්‍රශ්නයට අනුරූපීව දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. ඩොලර් හිගය, ආහාර හිගය, කළුකඩ මුදලාලිලා මිල දෙගුණ තෙගුණ කිරීම, වෙළෙද ඒකාධිකාරයන් නිර්මාණය කරගෙන අධික ලාබ ලබමින් මිනිස්සු බරපතල පීඩාවකට ලක් කිරීම නිසා රටත් සමාජයත් බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. සිංහල අවුරුද්දට කෝදුරු කැවුමක් එල්ලලා බෙදාහදා ගන්නා සම්ප්‍රදායක හිටිය අපේ සමාජය විෂම වෙන්නේ වෙනස් මේ තත්ත්වයන් එක්ක. පාරේ යන වාහන නවත්තලා තෙල් ටික බලෙන් අදලා ගන්න තරමට ම මේක බරපතල වුණා.

    ව්‍යාපාරිකයන්ගේ වගේ ම මිනිස්සුත් මනුස්සකම පැත්තකට දැමීම, යහපත් ගුණාංග නැති කර ගැනීම තුළ රටේ මිනිස්සු ම නොවිදිනා දුන් විදිද්දී, මනුස්සත්වයේ නාමයේ තීන්දුවක් ගන්න වුණා. බලය ගැන විතරක් හිතුවා නම් රනිල් වික්‍රමසිංහ හෝ අපි මේ දේශපාලන තීන්දුව ගන්නේ නෑ. රටේ මිනිස්සු තෙල් පෝලිම්, බෙහෙත් පෝලිම් අස්සේ මැරිලා වැටෙද්දී, පැය දහය දොළහ විදුලිය විසන්ධි වෙද්දී ඒවට සංඛ්‍යාලේඛන නෑ. ඒ නිසා අපිට දේශපාලනය වෙනුවට මනුෂ්‍යත්වය ගැන විතරක් හිතන්න වුණා. ඒ නිසා අපි එදා මනුස්සත්වයේ නාමයෙන් මේ තීන්දුව ගත්තා. අපේ පෞද්ගලික වාසි, දේශපාලන අනාගතය පැත්තකින් තියෙලා මේ තීන්දුව ගත්තේ ඒ මනුෂ්‍යත්වයේ නාමයෙනුයි.

    ඒක දේශපාලනික වශයෙන් ඉතා අමාරු තීරණයක්. ඒ නිසයි අපි මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කළේ මනුස්සත්වයේ නාමයෙන් එකතු වෙලා මේ තත්ත්වයෙන් ගොඩ එමු කියලා. මිනිස්සුන්ගේ දුක තේරෙන, හදවතට දැනෙන පිරිස අපිත් එක්ක එකතු වුණා. ඒත් අපේ විගමනික ශ්‍රමිකයන්ට සමහර අය කිව්වේ තමන්ගේ ආණ්ඩුවක් එනතුරු, බලයට එනතුරු සල්ලි එවන්න එපා කියලා. තමන් ආවාම මාසෙකට ඩොලර් බිලියනයක් ගේනවා ඒත් දැන් එවන්න එපා කියලයි කිව්වේ. හැත්තෑ දෙකේ ඉදන් කියන ඒ දවස උදා වෙනකල් අපේ මිනිස්සු තව කොච්චර කාලයක් දුක් විදින්න ඕනේ ද? නොකියා කියන්නේ උඹලා ඩොලර් එවන්න එපා, එතකල් මේ රටේ මිනිස්සු දුක් විදපුවාවේ, පාරේ මැරිලා වැටුණාවේ කියන එක නේද?

    හැබැයි මනුස්සකම තියෙන විගමනික ශ්‍රමිකයෝ මනුස්සකමේ නාමයෙන් රටට ඩොලර් එව්වා. ඩොලර් මිලියන දෙසිස විස්සට වැටිලා තිබුණු විදෙස් ප්‍රේශන අගෝස්තු වෙද්දී තුන්සිය විස්ස වුණා. ඒ මනුෂ්‍යත්වය නිසා. නීත්‍යනුකූල ව රටට මුදල් එව්වේ මනුෂ්‍යත්වය නිසා. ඒ නිසා තමයි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපිත් එයාලට සලකන්නේ.

    කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපල බලාපොරොත්තුවේ දොරටුවක් නිර්මාණය කළා. ඉතිහාසයේ වැඩි ම තීරුබදු සහනය දුන්නා. රටේ කිසිවකුට වාහනයක් ගෙන්විය නොහැකි වකවානුවක එවන මුදලට වටිනාකමක් දෙන්න වාහන බලපත්‍රයක් දුන්නා. විදෙස්ගතවීම් වලට බාධා කළ නීති රීති සංශෝධනය කළා. ඒ ඔවුන් රටට ඉටුකරන යුතුකම වෙනුවෙන් අපිත් ඔවුන්ට මනුෂ්‍යත්වයේ දෑත දිගු කළ යුතු නිසයි.

    ඉතා කෙටි කාලයක් තුළ මේ සියල්ල කරද්දී කාලයක් තිස්සේ කළ නොහැකි වූ තවත් දෙයක් තිබුණා. 2012 ඉදන් මේ ගැන කතා කළා. 2015 ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් කියනවා විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හ දුන්වා දෙනවා කියලා. ඒත් මේ මොහොත වන තුරුත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා

    ඒත් අපි ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එක්ව විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප අපිට ආරම්භ කිරීමට හැකියාව ලැබුණා“. යනුවෙන් ද පවසා සිටියේ ය.

    කම්කරු හා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී. ඒ. විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ , සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම, සාමාන්‍යාධිකාරී ප්‍රසන්න කළුආරච්චි ඇතුළු නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya