අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය කාලයේ තාවකාලිකව අත්හිටවූ ව්‍යෘපෘති කඩිනමින් ආරම්භ කරනවා - ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති

    සැප්තැම්බර් 23, 2022

    කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ තාවකාලිකව නතර කිරීමට සිදුවූ නිවාස ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.

    එම අධිකාරිය විසින් නව ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට හදුනාගෙන ඇති බවත්, ඒ සදහා රටවල් රැසක ආයෝජකයින් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවත් සභාපතිවරයා සදහන් කළේය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව සදහන් කළේ නිවාස 560 කින් සමන්විත කොළඹ, කිරුළපන, මිහිදුපුර නිවාස ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ
    අවස්ථාවට (22) දින සහභාගි වෙමිනි. ඉන්දියානු සි.ඩි.සි. ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆාස් ආයතනයේ සභාපති වයි.එස්.ආර්. වෙන්කටරාඕ මහතාද මෙම අවස්ථාවට එක්විය.


    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි සි.ඩි.සි. ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆාස් ආයතනය ඒකාබද්ධව මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඩොලර් මිලියන 51 කි. මාස 36ක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 24 බැගින් වු කුළුණු දෙකකින් සමන්විතය. එහි වර්ග අඩි 650 කින් යුතු නිවාස 420 ක් සහ වර්ග අඩි 850 කින් යුතු නිවාස 140 ක් ඉදිවේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා, ‘‘අපි ව්‍යාපෘතියක් පටන් ගත්තම ප්‍රධාන ගැටළුව වෙන්නේ නිසි වේලාවට එය අවසන් කිරීමට නොහැකි වීමයි. ඒ සදහා විවිධ හේතු සාධක බලපානවා. පසුගිය කාලය තුළ පැමිණි කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් හේතුවෙන් ව්‍යාපෘති රැසක් නතර කිරීමට සිදු වුණා.

    රටක් ලෙස අප ධනාත්මක මානසිකත්වයකින් යුතුව අද ඉදිරියට යා යුතු වනවා. ඒ සදහා ආයතනයක් විදිහට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැළසුම් රැසක් සකස් කර තිබෙනවා. ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. සියලු පාර්ශවවල සහයෝගය මත මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තුවනවා’’ යනුවෙන් පැවසීය.

    කිරුළපන ප්‍රදේශයේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු අක්කර 2.39 ක ඉඩමක ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා ඉදිකිරීම් උපදේශකත්වය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සපයනු ලබයි. 
    හිසට සෙවණක් නොමැති දුප්පත් ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සදහා 1979 වසරේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලදි. මේ වනවිට මෙම අධිකාරිය මගින් නිවාස නොමැති ජනතාවගේ නිවාස අවශ්‍යතාවය ඉටුකරලීම සදහා මහල් නිවාස ව්‍යාපෘති ඉදිකරීම, ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නිවාස ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, එහි සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක, කොළඹ නගර (දකුණ) කාර්යාලයේ කළමණාකරු හිමාලි ගුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya