මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියේ ප්‍රතිරූපයට හානිවන අයුරින් තමන්ගේ පෑන හසුරුවන්නට එපා- ජනමාධ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2022

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව - ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩයම සහ පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය රාජගිරිය බැංකු විදු පියස ආයතන පරිශ්‍රයේදී අද (22) සිදු කෙරිණ.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඩිප්ලෝමාධාරීන් අමතමින් මෙලෙස අඳහස් දැක්වීය.

    නිරෝගී සමාජයක යහ පැවැත්ම උදෙසා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුළුණු තුනක් පිළිබඳ දේශපාලන විද්‍යාවේ සඳහන් වනවා. ඒ හා සමානවම වර්ථමානයේ මාධ්‍ය සතුවත් සමාජ ප්‍රගමණය උදෙසා විශාල වගකීමක් පවතිනවා. යටත් විජිත යුගයෙන් පසුව මෙරට පුවත්පත් ආරම්භවීමත් සමඟ රටතුල නිදහස උදෙසා ජාතික මතවාදයක් ගොඩනැංවීම සදහාත් පුවත්පත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.

    එසේම අපේ රටේ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා වන පරිදි උසස් වටිනාකම් සහිත සමාජයක් බිහි කිරීමට එකල පුවත්පත් කතුවරුන් වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, චන්ද්‍රරත්න මානවසිංහයන්, මීමන ප්‍රේමතිලක, ඩී.බී.ධනපාල ශූරීන් ඉතා විශිෂ්ඨ සමාජ දැක්මක් සහිතව මාධ්‍ය මෙහෙයවූ බව මා විශ්වාස කරනවා.

    නමුත් පසුගිය දශක කීපය තුළ සංස්කෘතික, සාදචාරත්මක වශයෙන් හා මනුස්සකමේ විශාල නායයෑමක් සිදු වූ බව අකමැත්තෙන් වුවත් අපි පිළිගත යුතුයි. ජාතික න්‍යාය පත්‍රයකින් තොරව පුද්ගලික න්‍යාය පත්‍ර අනුව සිදුවූ වෛරී මාධ්‍ය හැසීරවීම නිසා අපේ රටේ ජාතික ප්‍රතිරෑපයටත් හානි සිදු වූ බව මගේ පුද්ගලික අත්දෑකීමක්.

    මාධ්‍ය හා සම්බන්ධ කතා පුවතක් ඇතුලත් අප නිෂ්පාදනය කල ''ද නිවුස් පේපර්" චිත්‍රපටය රුසියාවේ පැවති කසාන් සිනමා උළෙලට ඉදිරිපත් කර එහි ගිය අවස්ථාවේ ලොව පුරා සිනමා වේදීන්, නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුලු විවිධ විද්වතුන් මුණගැසීමට අවස්ථාව හිමි වුනා. ඔවුන් අතරින් වැඩි දෙනෙක් සිටින්නේ මෙරටට පැමිණීම පිළිබඳ බයකින් හා සැකයකින්. හරි හෝ වැරදි මාධ්‍ය ඔස්සේ ඔවුන් ඇතිකරගත් ප්‍රතිරූපය ඊට විශාල ලෙස බලපා තිබෙන බව මා විශ්වාස කරනවා.

    එනිසා අපි කෙටි කලක් ජීවත් වී මිය ගියත් නූපන් පරම්පරාවට ජීවත් වීම සඳහා මාතෘ භූමියේ ප්‍රතිරූපයට හානිවන අයුරින් තමන්ගේ පෑන හසුරුවන්නට එපා කියලා මේ මාධ්‍ය ඩිප්ලෝමාධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා. රටක පුවත්පත් අතුලු මාධ්‍ය දුකගන්නාරාල කෙනෙකු නොවී පෙරගමන්කරුවෙකු විය යුතුයි. සිතනවාට වඩා යමක් ප්‍රබුද්ධ ලෙස සිතන, පෙනෙනවාට වඩා වැඩි යමක් ප්‍රබුද්ධ ලෙස දකින, ඇසෙනවට වඩා යමක් ප්‍රබුද්ධ ලෙස අසන ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට ඔබේ මාධ්‍ය අයතන පරිවර්තනය කරගන්නට උත්සාහ කරන්නට හැකි නම් මේ මොහොතේ වඩා වැදගත්ම මාධ්‍ය මෙහෙවර එයයි.

    ලෝක යුධ සමයේ හිරෝෂිමා නාගසාකි නගර න්‍යෂ්ඨික බෝම්බවලින් විනාශ වීමෙන් පසුව ජපානයේ දරුවන්ට මාධ්‍ය ඔස්සේ සහ අධයාපන ක්ෂේත්‍රය හරහා ඉගැන්වූ පළමු පාඩම තමයි ආදරය. තමන්ගේ පවුලට වගේම දන්න නොදන්න සියලුම මිනිසුන්ටත් ආදරය කරන්න. ගහකොල සතුන් ඇතුලු පරිසරයට ආදරය කරන්න. මවුබිමට ආදරය කරන්න. ඒ නිසා අදටත් ජපන් ජාතිකයින් නාදුනන කෙනෙකු මුණගැසුනත් හිස නමා ආචාර කරන ආකාරය දකින්න පුලුවන්.

    අද දින ඩිප්ලෝමා සහතික ලබන ඔබ සියලු දෙනාත් රටට අභිමානයක් හා ආඩම්බරයක් වන ලෙසත් ඔබගේ මාධ්‍ය භාවිතය සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිළධාරීන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ඩිප්ලෝමා සහතිකලාභීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya