අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට රැගෙන ආ යුතුයි - මුදල් රාජ්‍ය අමාත්‍ය 

    සැප්තැම්බර් 21, 2022
    රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති මේ මොහොතේ සිදු කළ යුත්තේ එහි චූදිතයන් සෙවීම නොව ආර්ථිකය ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 
    ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පසුගිය දා (16) අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු රේගු මූලස්ථානයේ කළ ප්‍රථම සංචාරය මෙයයි. 
     
    භාණ්ඩ අපනයනය සඳහා සූදානම් කරවීම, ආනයනික භාණ්ඩ මුදා හැරීම සහ නීති විරෝධී භාණ්ඩ ආනයනය කිරීම සොයා බැලීම සඳහා ස්ථාපිත ස්කෑන් යන්ත්‍ර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහි දී අමාත්‍යවරයා විශේෂ අවධානයට ලක් කළේ ය.  අමාත්‍යවරයාගේ පැමිණීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ සියඹලාපිටිය මහතා මෙසේ ද පැවැසීය.
     
    “1994 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 25%ක් විතර රාජ්‍ය ආදායම තිබුණ. නමුත් අද අපි ඉන්නෙ 8%ක වගේ මට්ටමක. එතන ඉඳන් තමයි කියන්නෙ අපට ඩොලරුත් නෑ, රුපියලුත් නෑ කියල. තියෙන්න විදියක් නෑනෙ. උදාහරණයක් විදියට ගත්තොත් 2021 අපේ මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1464යි. වියදම රුපියල් බිලියන 3522යි. ආදායම වගේ 240%ක් වියදම. මුදල් අච්චු ගැහුවොත් උද්ධමනය ඉහළ යනවා. අන්න ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කිරීමට අපට විශාල වගකීමක් තියෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8%ක මට්ටමේ තියෙන රාජ්‍ය ආදායම අපි 15% දක්වාවත් වැඩි කළ යුතුයි. 
     
    අපට ඉතාම දක්ෂ රේගු නිලධාරීන් පිරිසක් ඉන්නවා. මම ඒ ගැනත් මෙතන දි සඳහන් කළ යුතුයි. අපි පසුගිය අයවැයෙන් කිවුව රේගුවට මේ වසර ඇතුළත රුපියල් බිලියන 715ක ආදායමක් හොයල දෙන්න කියල. ඇත්තටම කියන්න සතුටුයි අගෝස්තු 31 වෙනකොට ඉන් 60% ආදායමක් ලබා ගෙන ඉවරයි. ඒ කියන්නෙ අපට ඉලක්කයට යන්න පුළුවන්. 
     
    අපි මේ සඳහා ජාතියක් විදියට අලුතෙන් හිතන්න ඕනෙ. ඇත්තට ම අපි දේශපාලනික වශයෙන් බෙදිල හිටියෙ. අපි අතර විවිධ බෙදීම් තිබුණ. අපි දන්නව ලොකු අරගලක් වුණා. නව නායකත්වයක් පත් වුණා. අපට අපේ ආකල්ප වෙනස් කරගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. මමත් මේ දවස්වල හිතුවක්කාර ශිෂ්‍යයෙක් වෙලා තියෙනවා.
     
    මොකද අංක එකට අපට හිතන්න වෙලා තියෙනවා රට ගැන. ඉස්සර අපි මුලින් ම හිතුවෙ තමා ගැන. පස්සෙ පක්ෂය ගැන. අන්තිමට ම තමයි රට ගැන හිතුවෙ. නමුත් අද සියල්ල පසෙක දාල රට ගැන හිතන්න වෙලා තියෙනවා. එතනදි කරන හිතුවක්කාරකමක් වුණත් මම වරදක් ලෙස දකින්නෙ නෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
     
      රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya