මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාංකීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණයට සැලසුම්

    අගෝස්තු 11, 2022

    ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පත්වීමත් සමග චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනයට ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්, කලාකරුවන්, ආයෝජකයින් හා අදාළ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිළිහී යමින් ඇති මෙම කාලයේ ජනතාව ආශක්ත වන නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසද ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි මෙම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,
    “ සුද්දිලාගේ කතාව” චිත්‍රපටයෙන් ආරම්භ වී “ද නිවුස්පේපර්” චිත්‍රපටය දක්වා චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ලාංකීය සිනමා කර්මාන්තයට සෘජුවම සම්බන්ධ පුද්ගලයකු වශයෙන් අද මෙම සාකච්ඡාවට සහභාගි වීම සතුටක් ලෙස සලකනවා. චිත්‍රපට කලාව හා කර්මාන්තය නඟා සිටුවීමට මෙම අවස්ථාවට එක්ව සිටින සියලු නිෂ්පාදකයින්ගේ, කලාකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් හා යෝජනා මම බලාපොරොත්තු වෙනවා. මෙම දියුණුව උදෙසා මා හඳුනාගත් මූලික සැලසුම් කීපයක් තිබෙනවා. එකක් තමයි සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කිරීම. පළාත් පාලන ආයතන මට්ටමින් සිනමා ශාලා ඇති කිරීමට එම අමාත්‍යවරයා හා සාකච්ඡා කර වැඩපිළිවෙලක් සැකසීමට මා කටයුතු කරනවා. ඒ වගේම බටහිර රටවල පවා ජනප්‍රිය “Wheel Cinema” එනම් ජංගම වාහනයක් උපයෝගී කරගෙන සිනමා ප්‍රදර්ශනය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සිනමාව තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට ඉවහල් වනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙර කාලයේ මෙම සංකල්පය ක්‍රියාත්මක කළා. එය වඩාත් නව්‍යකරණය කර ක්‍රියාත්මක කළ හැකියි.

    අප හඳුනාගත් තවත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව නියාමන කොමිසමක් ලෙස ක්‍රියා කරන ආකාරයට කටයුතු සැලසීමයි. පෞද්ගලික අංශය දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් හා නියාමනය සලසන ආයතනයක් ලෙස එය ක්‍රියා කළ යුතුයි. නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ පාලනය යටතේ මේ සඳහා හොඳින් කටයුතු කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම වසර දෙකකින් පමණ පැවැත්විය නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට අදහස් කරනවා. චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා වන නව ක්‍රියාමාර්ග සම්බන්ධව චිත්‍රපට නිෂ්පාකයින් හා ශාලා හිමියන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ”

    නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක්
    බවයි. නමුත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවබෝධාත්මක මැදිහත්වීම හා සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය මත වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම අභියෝග ජයගනිමින් සිනමා ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර ගත හැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.

    සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීම මත, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතාගේ මූලිකත්වය ඇති කමිටුව සම්පාදනය කළ සිනමා ජාතික ප්‍රතිපත්තිය මෙහිදී අමාත්‍යවරයා වෙත භාරදුන් අතර, ජනාධිපතිවරයා වෙත එම ලේඛනය පිළිගැන්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරගන්නා ලදී. ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් හා ආයෝජකයින්ද සමග සාකච්ඡා කර වඩාත් සාධනීය ලෙස එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ගැනීමද මෙහිදී සිදු විය.

    මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ප්‍රවීණ රූපණවේදිනී ගීතා කුමාරසිංහ මහත්මියද, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන්ද, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද, බුද්ධි කීර්තිසේන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ රූපණවේදිනී ශ්‍රියානි අමරසේන වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ද සිනමා නිෂ්පාදකයින් හා සිනමා ශාලා හිමියන්ද ඇතුලු ක්ෂේත්‍රයට සම්බන්ධිත පාර්ශ්වයන් නියෝජනය කරමින් විද්වත්හු රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya