අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු අභියෝගයන් හමුවේ මිතුරු රටවල් අප සමඟ සිටියා - සෞඛ්‍ය ඇමති

    අගෝස්තු 09, 2022

    ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලු අභියෝගයන් හා අසීරුතාවන් හමුවේ මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව සමග සිටි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම අනෙකුත් අභියෝගයන්හිදී ජපානය ශ්‍රී ලංකාව සමඟ දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත (08) ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙරට ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයේදී කාන්තාවන් හට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම උපකරණ තොගයක් මෙහි දී ලබා දුන් අතර ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 03 ක් හා ජපන් රජය ඇමරිකානු ඩොලර් 72,000 ක් වැය කර තිබේ. මෙම පරිත්‍යාගයන් අතර මේ වන විට මෙරට හිඟව පවතින සහ දැනට හිඟ වෙමින් තිබෙන ඖෂධ වර්ගද වේ. ඔක්සීටෝසීන්,මිසප්‍රොස්ටෝල්,ඩිපෝ එන්නත් හා ලිංගික සෞඛ්‍ය සඳහා වන ඖෂධ හා උපකරණ මෙහි වේ.


    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,


    පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ඖෂධ විශාල වශයෙන් විවිධ රටවලින් සහ ජාත්‍යන්තර සංවිධාන මගින් මෙරටට හිමි වූ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි ආයතන ඒවා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු නිසිලෙස කළ බවත් පැවසීය. ජපානය විසින් ජයවර්ධනපුර මහ රෝහල වැනි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පරිත්‍යාගයන් රැසක් ලබාදුන් බවද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය. අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව අත් නොහළ සැබෑ මිතුරෙකු වන ජපානය, කොවිඩ් තත්ත්වයේ ආරම්භක සමයේ එන්නත්කරණයේ පළමු අවස්ථාව සඳහා එන්නත් මිලියන 1.5 ක් ලබාදුන් බවද එහිදී සිහිපත් කළේය.


    මෙහිදී අදහස් දැක්වූ මෙරට ජපන් තානාපති, මිසුකොෂි හිදෙයාකි මහතා,


    ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 08 ක් සහ උපකරණ තොගයක් මෙම පරිත්‍යාග අතර පවතින බව පැවසීය.
    ජපානය, ශ්‍රී ලංකාවට විවිධ ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩව ආධාර සපයා ඇතැයිද මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය සඳහා ලබාදී ඇති MRI යන්ත්‍රය හා CT ස්කෑන් යන්ත්‍රය මෙන්ම තවත් වෛද්‍ය උපකරණ එම සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය ජනතාවට වඩාත් වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා කීය.


    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලි ආදේනි මහතා,

    ශ්‍රී ලංකාව සඳහා වන පරිත්‍යාග කටයුතු වලදී අනෙකුත් රටවලට සාපේකෂව ජපානය වඩාත් කඩිනමින් හා උද්යෝගයෙන් ඉදිරිපත් වූ බවත්, මේ අර්බුදකාරී අවස්ථාවේ සහයෝගය ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බවත් පැවසීය. විශේෂයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ලෝක ජනගහන අරමුදල සමඟ නිරතුරුව කටයුතු කරන බවත්, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට වඩාත් පහසුවක් වන බවත් පෙන්වා දුන්නේය. මේ අතර ජිනීවාහි ලෝක ජනගහන අරමුදලින් මෙරටට මිලියන 09 ක ආධාර මුදලක් වෙන් වී ඇති බවත් , එය මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය නගා සිටුවීම සඳහා ලබාදෙන බවත් ආදේනි මහතා පැවසීය.


    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් අදහස් දැක්වූ අතර,අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය ) වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජපාන තානාපති කාර්යාලයේ මෙන්ම ලෝක ජනගහන අරමුදලේ මෙරට කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya