අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සිදු වන්නේ කොහොමද?

    අගෝස්තු 01, 2022

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සිදු වන්නේ කොහොමද? හරියටම දැනගමු...

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 ජූලි මස 28 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කොට තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය ආරම්භ වන්නේ එළඹෙන අගෝස්තු 03 වැනිදා පෙරවරු 10.30 ටයි.


    පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විවිධ අවස්ථාවන්හිදී පවත්නා පාර්ලිමේන්තු සභාවාරය වාර අවසාන කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථා දක්නට ලැබෙනවා. මෙසේ පාර්ලිමේන්තු සභාවාරයක් වාර අවසාන කිරීමේ ක්‍රියාවලියේ නෛතික ප්‍රතිපාදන පිළිබඳ මෙන්ම ඓතිහාසික සහ ප්‍රායෝගික පසුබිම පිළිබඳවත් සොයා බැලීම ඉත‍ා වැදගත්.

    වාර අවසාන කිරීමේ බලය හිමි වන්නේ කාටද?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.(1) වගන්තියට අනුව පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීමේ පූර්ණ බලතල විධායක ජනාධිපතිවරයා වෙත හිමිවෙනව‍ා.
    නව සභාවාරය කැඳවන දිනය තීරණය කරන්නේ කොහොමද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.(3) වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන ප්‍රකාශනය (ගැසට් නිවේදනය) මගින්ම නව සභාවාරය පටන් ගන්නා දිනය නියම කළ යුතු වනවා. එම දිනය පාර්ලිමේන්තුව වාර අවසාන කරන ප්‍රකාශනයේ දිනයේ සිට මාස දෙකක් නොඉක්මවන දිනයක් වියයුතුයි.

    නමුත් පාර්ලිමේන්තුවක් වාර අවසාන කොට නැවත කැඳවීමේ දිනයක් ප්‍රකාශයට පත් කොට ඇති අවස්ථාවකදී එම කැඳවීමේ දිනයට පෙර පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70. (3)(i) අනුව ජනාධිපතිවරයා වෙත හිමි වෙනවා. ඒ අනුව නැවතත් ප්‍රකාශනයක් (ගැසට් නිවේදනයක් ) මගින් එසේ පාර්ලිමේන්තුව කැඳවීමට අපේක්ෂා කරන දිනය ප්‍රකාශයට පත් කරන අතර එසේ ප්‍රකාශනයේ දිනයේ සිට දින තුනක් ඉක්ම ගිය පසු දිනයක පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා වෙත හිමි වෙනවා.

     

    පාර්ලිමේන්තුවක් වාර අවසාන කිරීමෙන් එහි කටයුතු සියල්ල නවතිනවාද?


    පාර්ලිමේන්තුව වාර අවසාන කළ විටකදී එහි කටයුතු සියල්ලම නවතින බව බොහෝදෙනාගේ අදහසයි. නමුත් එය එසේ වන්නේ නැහැ. වාර අවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරනු ලබනවා. ඒ අතරම මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවූවද ඔවුන් සිය ධුරයේ රැඳී සිටීනවා. නමුත් වාර අවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒ වන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලි තාවකාලිකව නරතවීම සිදුවෙනවා.

    නමුත් එකම කරුණක් හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සභාවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකි නමුත් වාරාවසාන කිරීමකින් අනතුරුව එළැ‌‌‌ඹෙන සභාවාරය දක්වා ගෙනයාමේ හැකියාව පවතිනවා.

    “යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයතු නිම කරනු නොලැබ ඇති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70. (4 ) වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදනය තුළ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියේදී ගැනීමට නියමිත කටයුතු අහෝසි වීමක් සිදු වන්නේ නැහැ. එහිදී, ඉදිරියට ගැනීමට නියමිත කටයුතු පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ වූ වහාම එය පැවති තත්ත්වයේ සිට ඉදිරියට කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ඉදිරියට ගෙනආයුතු ආණ්ඩුවේ කටයුතු සභානායකවරයා විසින් තීරණය කරනු ලබන අතර පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් හො යෝජනාවක් නම් එය නැවත නැවුම්ව ඉදිරිපත් කළයුතු වෙනවා.

    පාර්ලිමේන්තුවේ නව සභාවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතු වෙනවා.

     
    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේදී කාරක සභා සියල්ල අහෝසි වෙනවාද?


    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමකදී එහි පැවතෙමින් තිබූ කාරක සභාවලට සිදුවන්නේ කුමක්ද යන්න බොහෝදෙනා තුළ මතුවන ගැටලුවක්. එහිදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 109, 111(2), 124(5), 125.(1)අනුව පිළිවෙලින් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා ,උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ සම්බන්ධීකරණ කාරක සභාව හැර අන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ සභාවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් සිදු වෙනවා. මෙහිදී ස්ථාවර නියෝග 125.1 අනුව සම්බන්ධිකරණ කාරක සභාව සඳහා සමාජිකයන් නිල බලයෙන් (කථානායක, නියෝජ්‍ය කථානායක ආදී තනතුර අනුව) පත්වන නිසාවෙන් එහි වෙනසක් සිදුවන්නේ නැහැ.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව සෑම නව සභා වරයකදීම තේරීම් කාරක සභාව අළුතෙන් පත් කෙරෙනවා. එහිදී විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමකදී අහෝසි වීමට ලක් වෙනවා.

     අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
     ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
     පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
     ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
     ගෘහ්‍ය කාරක සභාව
     ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
     රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
     පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
     රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
     මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
     පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව

    පාර්ලිමේන්තුවේ නව සභා වාරයක් ආරම්භ වන්නේ කොහොමද?

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක් අවසානයේ දී නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත්ත කිරිම අත්‍යවශ්‍යම සාධකයක් නොවේ. නමුත් එසේ නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. පාර්ලිමේන්තුවේ එක් එක් සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිම සිදුවෙනවා. ඒ අනුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන අගෝස්තු 03 වැනිදා පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කරනු ඇති.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය යනු කුමක්ද?

    පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවී තිබෙනවා. මෙහිදි සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජකාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.

    1978 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ලක් කිරීමක් හෝ ඡන්ද විමසීමකට භාජනය කිරීමක් මේ දක්වා සිදුවී නැහැ.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක් එක් පාර්ලිමේන්තු තුළ ආරම්භවූ නව සභාවාරයන් ගණන... පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ පාර්ලිමේන්තුව 1947 සිට 50 වරක් පමණ වාරාවසාන කර ඇති බවයි. 1978 සිට මේ දක්වා සභාවාර 25කට වඩා පවත්වනු ලැබ තිබෙනවා ඒවා මෙසේයි

     පළමුවන පාර්ලිමේන්තුවේ 1978/09/07 දින සිට 1988/12/20 දක්වා සභාවාර 07ක්
    පැවැත්විණි.
     දෙවන පාර්ලිමේන්තුවේ 1989/03/09 සිට 1994/06/24 දක්වා සභාවාර 05ක්
    පැවැත්විණි.
     තුන්වන පාර්ලිමේන්තුවේ 1994/08/25 සිට 2000/08/18 දක්වා සභාවාර 03ක්
    පැවැත්විණි.
     හතරවන පාර්ලිමේන්තුවේ 2000/10/18 දින සිට 2001/10/10 දක්වා සභාවාර 03ක්
    පැවැත්විණි.
     පස්වන පාර්ලිමේන්තුවේ 2001/12/19 සිට 2004/02/09 දක්වා සභාවාර 02ක්
    පැවැත්විණි.

    Parliament of Sri Lanka @ParliamentLK @slparliament Parliament of Sri Lanka
     හයවන පාර්ලිමේන්තුවේ 2004/04/22 සිට 2010/02/09 දක්වා සභාවාර 04ක්
    පැවැත්විණි.
    (හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කර ගැනීම සදහා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව
    2010/03/09 සහ 2010/04/06 දින නැවත කැඳවන ලදී.)
     හත්වන පාර්ලිමේන්තුවේ 2010/04/22 සිට 2015/06/26 දක්වා සභාවාර එකක්
    පැවැත්විණි.
     අටවැනි පාර්ලිමේන්තුවේ 2015/09/01 සිට 2020/03/02 දක්වා සභාවාර 04ක්
    පැවැත්විණි.
     නවවැනි පාර්ලිමේන්තුවේ 2020/08/20 සිට මේ දක්වා සභාවාර 02ක් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya