අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් 

    ජූලි 01, 2022

    චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස චීන සමූහාණ්ඩුව මගින් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන එනැක්සපරීන් (Enaxaparin) එන්නත් 512,640 ක් ( ඊයේ 30) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් මෙරටට පරිත්‍යාග කෙරිණි.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැන්හොන් (QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී අදාළ පරිත්‍යාග තොගය ලබාදීම සිදු කෙරිණි.

    මෙම අත්‍යවශ්‍ය ඖෂධ එන්නත් තොගය කිලෝග්‍රෑම් 4250 ක බරකින් යුක්ත වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 28 ක වටිනාකමකින් යුතු චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස එම ආධාර තොගය මෙරටට ලැබිණි.මෙම මානුෂීය ආධාර ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් වන අතර, ඉන් මිලියන 28 ක් ආධාර වශයෙන්ද, මිලියන 48 ක් ණය ආධාර වශයෙන්ද ක්‍රියාත්මක වේ.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා;

    මෙවැනි අත්‍යාවශ්‍ය අවස්ථාවක රටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයට චීන රජය ලබා දුන් සහයෝගය වෙනුවෙන් ප්‍රසාදය පළ කරන බවත්, විශේෂයෙන් වත්මන් අර්බුදකාරී වකවානුවේ මෙරට පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණයන්හි හිඟය මගහරවා ගැනීම සඳහා ලොව මිත්‍රශීලී රටවලින් ඉල්ලා සිටි සහයට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත් පැවසීය. එම රටවල් අතුරින් මිත්‍රශීලී චීනය සහයෝගය ලබා දීමට ප්‍රමුඛව ඉදිරිපත් වූයේ යැයිද දෙරට අතර දීර්ඝකාලීන මෙන්ම දැඩි මිත්‍රශීලී බව මේ තුළින් පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැන්හොන් (QI Zhenhong) මහතා;
    මෙම මානුෂීය ආධාර වැඩසටහන යටතේ එනැක්සපරීන් (Enaxaparin) ඖෂධ එන්නත් මිලියන අඩකට වැඩි ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදීමට හැකිවූ බවත් මෙරට වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙය විශාල උපකාරයක් වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත් කීය. ඉදිරි මාස කිහිපය තුළ ජලභීතිකා එන්නත ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ විශාල තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවද එමගින් වසරක පමණ ඖෂධ අවශ්‍යතාව පිරිමසා ගතහැකි බවද තානාපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව හා චීනය අතර දිගු කාලීන මිත්‍රත්වය තුළ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් හමුවේ චීනය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවත් , දෙරට අතර ඒකාබද්ධ සහයෝගය තුළ මෙම අර්බුදය ජය ගැනීමට හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම වැදගත් බවත් චීන තානාපතිවරයා මෙහිදී කීය.පවතින අර්බුදය තාවකාලික තත්ත්වයක් බවද එය ජයගැනීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට ඔරොත්තු දීමේ හැකියාවක් පවතින බවද ඒ වෙනුවෙන් කොටස්කරුවෙකු වීමට චීනයට හැකිවීම පිළිබඳව සතුටු වන බවද තානාපතිවරයා පැවසීය.

    මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා සහ සෞඛ්‍යාධාර) වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya