අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි මස 10වැනි දින සිට රටපුරා අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට වැඩපිළිවෙලක්- ජනතා ගැටලු රැසකට සාධනීය විසඳුම්- ගෑස් බෙදාහැරීමට වැඩපිළිවෙලක්

    ජූනි 28, 2022

    පවතින ඛණිජතෙල් අර්බුදය විසඳීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියානු ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කොට යම් එකඟතාවයන්ට පැමිණ ඇති බැවින් තානාපතිවරු මාර්ගයෙන් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇති බවත් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කරමින් ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එසේම ජූලි මස 10වැනි දින සිට රටපුරා අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට හැකි බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

    එසේම ජනාධිපතිවරයා මෙරටට ඉන්ධන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.

    තවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපතිතුමා, ඛනිජතෙල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා කඩිනමින් ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට මේ වන විට සාකචඡා කෙරෙමින් පවතින බව පවසන ඒ මහතා මෙරටට ඉන්දියාවෙන් ඛණිජතෙල් ආනයනය කරන ලද ප්‍රබල සැපයුම්කරුවන් සත් දෙනෙකු සමග ජනාධිපතිවරයා ඊයේ සාකච්ඡා කර ඔවුන්ට ඛණිජතෙල් අමාත්‍යංශය මහ බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු සමග පැවති ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් නැවතත් ඛණිජතෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දුන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේම අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි සති දෙක තුළ යම් එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් අලුත්ගමගේ මහතා කියා සිටී.ඉතා සාධනීය මට්ටමකට සියලු කටයුතු සිදුවෙමින් පවතින බැවින් ඉතා ඉක්මනින් ඛණිජ තෙල් අර්බුදය විසඳීමට රජය ක්‍රියාකරන බවද ඒ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණු දී සිටින බවත් මෙම අර්බුදය හේතු කොට ගෙන රටේ බරපතල සමාජ ජනතා විරෝධතාවයක් පැන නැගී ඇති බවත් ඒ සඳහා ප්‍රධාන කාණ්ඩ 6ක් හඳුනා ගෙන ඇති බවත් පැවසීය.

    විශේෂයෙන්ම පසුගිය කාලයේ ජනතාවට තදින්ම බලපෑ එක් කාරණයක් වූයේ පැය 13ක විදුලි කප්පාදුව බව පෙන්වා දෙන ඒ මහතා දින ගණන් ගෑස් නොමැති වීම ,ඖෂධ හිඟය ,අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, භාණ්ඩවල මිල වැඩිවීම, ඉදිකිරීම ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීම වැනි අර්බුද රැසකට මුහුණපෑමට සිදු වූ බව කීය.

    මෙහි උච්ඡතම අවස්ථාව ලෙස පසුගිය 9වැනිදා සිද්ධිය සැළකිය හැකි බව පවසන අලුත්ගමගේ මහතා, ජීවිත , දේපළ ගණනාවක් අහිමි වී රටට ඉතා අවාසනාවන්ත දිනයක් වූ බව පැවසීය.මෙම සිදුවීම නිසා ලෝකයේ රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව තහනම් කලාපයක් බවට පත් කර ඇති බවත් සංචාරය කිරීමට අවදානම් කලාපයක් බවට නම් කර ඇති බවත් හෙතෙම කියා සිටී.

    මෙම සිද්ධිය හේතුවෙන් විදේශිකයන් මෙරටට පැමිණීමේ අඩුවක් දක්වට ලැබෙන බවත් අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.මෙම ගැටලුව අවබෝධ කර ගත් රජය ජනතාවගේ පාර්ශ්වයෙන් තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කළ බවත් දිනකට පැය 13ක්ව පැවති විදුලි කප්පාදුව දිනකට පැය 3ක් දක්වා අඩු කිරීමට කටයතු කළ බවත් වසරකට ඖෂධ ආනයනය කිරීමට රුපියල් මිලියන 235ක් වැය වන අතර මේ වනවිට ඩොලර් මිලියන 480ක් ප්‍රතිපාදන වැය කරමින් ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකින් ඖෂධ ආනයනයට පියවර ගෙන ඇති බැවින් ඖෂධ හිඟයක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

    පැවති ගෑස් හිඟයට මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන අලුත්ගමගේ මහතා, ලබන මස 5වැනි දින සිට ඉදිරි මාස 3කට අවශ්‍ය සම්පූර්ණ ගෑස් බෙදාහැරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය සකස් කර ඇති බව පැවසීය.

    පසුගිය කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැවති බව පෙන්වා දෙන ඒ මහතා මේ වනවිට භාණ්ඩ 12කට විවෘත ගිණුම් සඳහා අනුමැතිය ලබා දී වෙළඳපොළට මේ වනවිට භාණ්ඩ ආනයනකරුවන් ඇණවුම් කර ඇති බවත් ඒවා ලැබෙමින් පවතින බවත් පැවසීය.


    සමාජයේ දිගින්දිගටම කතාබහට ලක්වූ ජනතා ගැටලු රැසකට රජය සාධනීය විසඳුම් ලබා දී ඇති බවත් මෙම බරපතල මූල්‍ය අර්බුදයට ස්ථිර විසඳුම් සෙවීමට කාලයක් ගතවනු ඇති බවත් හෙතෙම කියා සිටී.රජයක් ලෙස ඉතා කඩිනමින් ජනතාව මුහුණ දෙන මෙම ගැටලු විසඳීමට කටයුතු කරන බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya