අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බරපතල වංචා දූෂණ සිදුවීම වැළැක්වීමට නව නීති- කෙටුම්පත් රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    ජූනි 28, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ ඇතුළත් කිරීම ඇතුළු පනත් කෙටුම්පත් රැසකට ඊයේ (27) රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

     

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බවත් දින 7කට පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි බවත් එ් අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරෙත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    සමඟි ජන බලවේගය 21වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පැවසූ අමාත්‍යවරයා, පසුව තමා පෞද්ගිලක මන්ත්‍රී යෝජනාවක් ලෙස 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයකු ලෙස පත්වූ බැවින් එය ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස නැවත් ගෙන ආ බවත් පෞද්ගලිකව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස් කර ගත් බවත් කීය.

    පාර්ලිමේන්තුව මේ පිළිබඳව කටයුතු කිරීමේ දී සමම්ත කර ගැනීම සඳහා මුලින් ගන්නා ලද සංශෝධන පනත් කෙටුම්පත නැවත වතාවක් අංක 21 ලෙස සළකුණූ වන බවත් ඒ අනුව 22 වැනි සංශෝධනය මුලින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගතහොත් එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස වාර්තා ගත වන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේ ය.

    තවත් වැදගත් පනත් රාශියක් ඊයේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවත් ඒ අතර ළමුන් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා පැවසීය. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලව තරුණයා ලෙස සළකන වයස් සීමාව වයස අවුරුදු 18 ලෙස සළකා නීතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට ඇතුළත් වන බවත් ඒ පිළිබඳව පැහැදිළි කරමින් අමාත්‍යවරයා පැවසීය.

     

    ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළීබඳව නව නීති හඳුන්වා දීමක් කළ බව පවසන අමාත්‍යවරයා, ළමයින් සම්බන්ධ නඩුවලදී මෙම පනත මගින් අධීකරණමය ක්‍රියා කලාපය තුළ අනුගමනය කළ යුතු සුවිශේෂී වැඩපිළිවෙළ , ළමයාගේ මානසික කඩාවැටීම වැළැක්වීමට, ළමයා අවමානයට ලක්වීම වැළැක්වීමට ,ළමයා කෙරෙහි දැඩි රැකවරණයක් සහ ආාරක්ෂාවක් ඇතිව කටයුතු කිරීමට , සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති සම්ප්‍රදාය සහ සම්මුතීන්ට අනුකූලව මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

    වංචා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව පවසන අමාත්‍යවරයා ඒ අනුව නිශ්චල දේපළ සම්බන්ධව හිමිකම් ඔප්පු පැවරීම් ආදිය සිදුවීමේදී බරපතල වංචා දූෂණ සිදුවීම වැළැක්වීමට නව නීති මෙම සංශෝධනයෙහි ඇතුළත් බවත් විශාල ලෙස අධිකරණවල ගොඩ ගැසෙන නඩු මේවා සම්බන්ධව වන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඇටෝර්නි බලපත්‍ර සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙයද දේපළ සම්බන්ධව බොහෝ වංචාවලට උපයෝගී කර ගන්නා බවත් එක් පැත්තකින් වංචා අවම කරගැනීමටත් තවත් පැත්තකින් අධිකරණ කටයුතු පහසු කර ගැනීමටත් මෙමගින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා විස්තර කළේය.ඒ හා සමගාමීව නොතාරිස් ආඥා පනත සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    නොතාරිස්වරුන් ඔප්පු ලිවීමේදී නොයෙකුත් අකටයුතුකම් සිදු කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ හේතුවෙන් ඉඩම් හිමිකම් පිළීබඳව බරපතල තත්වයන් අධිකරණවල පවතින බවත් ඒවා අවම කිරීමට මෙමගින් හැකිවන බවත් හෙතෙම පැවසීය.

     

    ලේඛන ලියාපදිංචිකිරීමේ පනත සංශෝධනය කිරීමටද ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.ශ්‍රී ලංකාවේ කලක සිට විවාදයට ලක් වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , අධිකරණ සංවිධාන පනත , සිවිල් නඩු විධාන සංග්‍රහය , අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් අධිකරණයට අපහාස කිරීම පිළීබද අධිකරණ බලය පැහැදිළි ලෙස ඒ ඒ අධිකරණවලට ලබා දී ඇති බව පවසන අමාත්‍යවරයා සමහර අධිකරණවලට යම් යම් සීමා පවතින බවත් පොදුවේ ගත් කළ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව පාලනය කරන විධිමත් නීතියක් නොමැති බැවින් මෙම කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවත් එය ශ්‍රේෂ්ඨාධීකරණයේ විනිසුරුවරයකුගේ සහභාගීත්වයෙන් කමිටුවකට යොමු කර තවදුරටත් නීතිමය තත්වය පිළිබඳ පැහැදිළි කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

     

    එසේම 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිළිගෙන ඇති 2004 වර්ෂයේ පාර්ශ්වකරුවෙකු ලෙස අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ වැළැක්වීමේ ප්‍රඥප්තිය මගින් දූෂණ වැළැක්වීම සම්බන්ධව දේශීය වශයෙන් යාන්ත්‍රණයක් සකස් කිරීමට හා නීති සම්පාදනය කිරීමට රජයට වගකීමක් සහිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම කටයුත්ත 2015දී ආරම්භ කර ඇති අතර 2018 වන විට කෙටුම්පතක් සකස් කොට තිබේ.එම පනත පදනම් කර ගනිමින් වංචා දූෂණය වැළැක්වීමේ ආඥා පනතක් සම්මත කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරපත් කර තිබෙන අතර එම පනත මගින් පවතින අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව , අල්ලස් පනත , දේශපාලඥයින්ගේ සහ නිලධාරීන්ගේ අක්‍රමිකතා වංචා දූෂණ පීළීබඳව සොයා බැලීම සඳහා උපයෝගී වන 1973 වර්ෂයේ සම්මත කර ඇති වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත වෙනුවට අදාළ අවශ්‍යවන ප්‍රතිපාදන මෙම වංචා වැළැක්වීමේ දූෂණ විරෝධී පනතට ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.දේශපාලඥයින් හෝ නිලධාරීන් යම් කිසි වංචා දූෂණ අක්‍රමිකතා සිදු කර ඇත්නම් නූතන තාක්ෂණය භාවිත කරමින් ඒවා ඉතා ඉක්මනින් සොයා බලා ඒ පිළීබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩපිළිවෙළ මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැහැදිළි ක‍ෙළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya