අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ MICE සංචාරක ව්‍යාපාරය ඉන්දුනීසියාවේ ප්‍රවර්ධනය කෙරේ

    ජනවාරි 20, 2022

    ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල අංගයක් වශයෙන් ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන වෙබිනාර් සාකච්ඡාවක් පසුගිය දා (12) ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සහයෝගයෙන් පවත්වන ලදී.

    පැය එකහමාරක් මුළුල්ලේ පැවැති මෙම සැසිය සඳහා ඉන්දුනීසියානු සංචාරක නියෝජිතයින් 25 දෙනෙකු සහභාගී වූ අතර ඔවුහු MICE සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූහ.

    දෙරට අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන බැවින් ඉන්දුනීසියානුවන්ට තම රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සමුළු සහ උත්සව සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉතා සුදුසු ස්ථානයක් බව ඉන්දුනීසියාවේ සහ ආසියාන් හි ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය සිය ආරම්භක දේශනය තුළින් අවධාරණය කළා ය. දෙරට අතර පියාසැරි කාලය පැය 4 ½ ක් පමණක් වන අතර ශ්‍රී ලංකාව තුළින් අත්දැකීම් රාශියක් ඔවුනට ලබා ගත හැක.

    ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

    අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ක්‍රියාකාරකම් තුළින් MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දුනීසියානු ප්‍රදර්ශන සමාගම් සංගමයේ සභාපති හොසියා අන්ද්‍රෙයාස් රුන්කට් මහතා සිය කැමැත්ත පළ කළේය.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා එම ආයතනය MICE පරිශ්‍රයක් ලෙස ප්‍රවර්ධනය කළ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්දුනීසියාව සඳහා වන කළමනාකාර අමිල විජේසේකර මහතා MICE අංශයට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිරිනමන විවිධ පහසුකම් පිළිබඳව විස්තර කළේ ය. ශ්‍රී ලංකා වෘත්තීය සම්මේලනයේ කමිටු සාමාජික ආචාර්ය ෂෆාත් අමිඩොන් මහතා ශ්‍රී ලංකාවේ MICE කර්මාන්තය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

    හිල්ටන් හෝටල් සමාගමේ වාණිජ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සාමාජිකයකු වන සුමල් ප්‍රනාන්දු මහතා MICE සංචාරක ව්‍යාපාර සමුළුවට සත්කාරකත්වය ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය තුළ ඇති සූදානම පිළිබඳව විස්තර කළ අතර, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අචිනි දන්ඳුන්නගේ මහත්මිය ශ්‍රී ලංකාවට අදාළ වන වත්මන් සංචාරක මාර්ගෝපදේශ පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළා ය. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය නියෝජනය කළ පැඩී පෝල් මහත්මිය ශ්‍රී ලංකාවේ MICE කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාව තුළ පවත්නා අවස්ථා ගවේෂණය කළාය.

    ඉන්දුනීසියානු සංචාරක නියෝජිතයින් ශ්‍රී ලංකාවේ MICE සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔවුන් සතු ගැටළු ඉදිරිපත් කළ අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් මෙම වෙබිනාර් සාකච්ඡාව අවසානයේ දී පවත්වන ලදී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya