මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සියක් නගර” වැඩසටහන - දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය හිමි බණ්ඩාරවෙල නගරය සංවර්ධනය කිරීමට පියවර

    ජනවාරි 20, 2022

    “සියක් නගර” සංවර්ධන වැඩසටහනේ දී එම නගර හා ඊට යාබඳ ප්‍රදේශවල ආර්ථිකය වැඩිදියුණු කිරීම, ආදායම් ඉපයීම් ද සැළකිල්ලට ගෙන අදාළ සංවර්ධන කටයුතු සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙසින් ලබාදුන් උපදෙස් අනුව, ක්‍රියාත්මක කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිවල වැඩකටයුතු කඩිනම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඒ අනුව වී, එළවලු, විසිතුරු මල්, තේ, සංචාරක, සංස්කෘතික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික යන ප්‍රධාන අට වැදෑරුම් ආර්ථික ඉපයීම්වලින් යුතු බණ්ඩාරවෙල නගරය තුළ ක්‍රියාත්මක කළ නගර සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් අදියරේ පවතින බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    ඉහත ප්‍රධාන ආර්ථික ඉපැයීම් 08 අමතරව තවත් උප ආර්ථික ඉපැයීම් රැසක් බණ්ඩාරවෙල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.

    ඒ යටතේ බණ්ඩාරවෙල නගරය තුළම පර්චස් 80 ක් ආවරණය කෙරෙමින් ගොඩනැගෙන “රෝස උයන” නගරයට අලංකාරයක් එක්කරයි. රෝස උයන විදුලි පහන්වලින් ආලෝකමත් කිරීම ද මේ සමඟ ම සිදුවෙයි. එසේම, එයින් බැහැරව ගත් කල වඩාත් ඉහළ ආර්ථික වාසි ද සලසයි.

    නගරයේ ප්‍රධාන වීදිය හෙවත් මැද පාරේ මීටර් 600 ක ඉදිකරමින් තිබෙන පදික මංතීරුව, නිවැරදිව සකසා බිම් ඇතුරුම් ගල් ඇල්ලීම තුළ පදිකයන්ට මාර්ගයෙන් ඉවත්ව ගමන් කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. මේ හේතුව මත මාර්ගය දෙපස නවත්වා වෙළඳ කටයුතුවල නිරත වාහනවලට මෙතෙක් පැවති අවහිරතා ඉවත්ව ගොස් ඇත.

    බණ්ඩාරවෙල නගරය හා සම්බන්ධ ප්‍රදේශ මේ වන විටත් මහා, මධ්‍ය, සුලු පරිමාණ මෙන් ම ගෘහස්ත විසිතුරු පැල සහ මල් වගාවන් කෙරෙහි යොමුව සිටියි.

    මිනිස් පරිභෝජනය සඳහා වාණිජව සහ ගෘහස්තව එළවලු වර්ග රැසක් වගාකිරීමෙන් අතිවිශාල පිරිසක් ඍජු සහ වක්‍ර ආදායම් ලබති. මෙම සියක් නගර වැඩසටහන යටතේ බණ්ඩාරවෙල නගරය සංවර්ධනය කිරීමෙන් එළවළු සහ විසිතුරු මල් වර්ගවලට ද හොඳ ඉල්ලුමක් හිමිවේ.

    විශේෂයෙන් ම නගර අලංකාර කර සංවර්ධනය කිරීමත් සමඟ ම බණ්ඩාරවෙල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර එය බණ්ඩාරවෙල එළවළ සහ විසිතුරු මල් වර්ගවල අලෙවිය වැඩිවීමට ද විශාල බලපෑමක් වන බව බණ්ඩාරවෙල නගරවාසීහු ප්‍රකාශ කරති.

    මීට අමතරව බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රධාන අපනයන බෝගයක් වන තේවලින් විදෙස් ආදායම් ද, දේශීය පරිභෝජනයට අවශ්‍ය සහල්වලින් දේශීයව අදායම් උපද්දවයි.

    සංචාරක ව්‍යාපෘති කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක කිරීම තුළ, විදෙස් මුදල් ලැබීම වසරින් ඉහළ යමින් පවතියි. දෙස් විදෙස් සංචාරකයන් වඩාත් ප්‍රියකරන ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, හග්ගල උද්‍යානය, දුන්හිද දිය ඇල්ල, රාවණා දිය ඇල්ල, ග්‍රෙගරි වැව ඇතුළු ස්ථාන රැසක් ඍජු හා වක්‍ර ආදායම් මාර්ග උපද්දවමින් සිටියි. මීට සමානවම බණ්ඩාරවෙල ඇතුළු ආසන්න ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ද දියුණුවෙමින් පවතී.

    පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තලයට වැටෙන ආගම්වලට සම්බන්ධ මුතියංගනය, සීතාදේවි කෝවිල, දිවුරුම්වෙල පන්සල, රාවණාට සම්බන්ධ දෝව පන්සල, ඇඩිසම් බංගලාව වැනි ස්ථාන ආරක්ෂා කළ යුතු ස්ථාන ලෙස වැලිමඩ සංචාරකයන්ගේ අවධානයට යොමු වී තිබීම අදායම් ඉහළ දැමීමට හේතු වී තිබේ.

    මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ ලෝකයේ පිරිසිදුම ඔක්සිජන් වාතය තිබෙන ප්‍රදේශ දෙකක් ලෙසින් බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රදේශ හැඳින්විය හැකි බවයි.

    බණ්ඩාරවෙල, බදුල්ල, වැලිමඩ, හපුතලේ, නුවරඑළිය ඇතුළත් ප්‍රදේශ සීත දේශගුණයකින් යුතුවීම නේවාසික සහ නේවාසික නොවන සැමට ප්‍රිය උපද්දවයි.

    නගර සංවර්ධනය කිරීම තුළ බණ්ඩාරවෙල නගරය තුළ පැවති ප්‍රධාන අවහිරතාවන් සහ නව ආර්ථික ප්‍රවනතාවන් හදුනා දියත් කළ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙනයමින් වඩාත් වැඩිදියුණු ප්‍රගතියක් අත්කර දෙන ලෙසත්, දියුණු කළහැකි සෑම අංශයක් ම දියුණු කිරීමට නව ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya