මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය විවෘත වෙයි

    ජනවාරි 17, 2022

    මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (16) පස්වරුවේ විවෘත කරන ලදි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම උද්‍යාන නිර්මාණ කර තිබේ.

    ටොම්ලින් උද්‍යානයේ ස්ථාපිත සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා පීත්ත පටිය කපා විවෘත කිරීම සංකේතවත් කළේය. අග්‍රාමාත්‍යතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ අතර උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක එම්.එම්.ජේ.ඊ.ජී බණ්ඩාර මහතා මෙහි දී ව්‍යාපෘති ප්‍රගතිය විස්තර කළේය.
    වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා වෙළඳ කුටි 16කින් සමන්විත ටොම්ලින් උද්‍යානය ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ වැය කළ මුදල රුපියල් මිලියන 374කි.
    අනතුරුව සහස් උයන “නාගරික රථගාල උද්‍යානය”වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළේය. විවෘත රංග පීඨයක්, හස්ත කර්මාන්ත වෙළඳ සංකීර්ණයක්, බොජුන් පියසක් සහ ළමා උද්‍යානයකින් සමන්විත මෙම උද්‍යානය විවේක පරිශ්‍රයකින් ද සමන්විතය.
    ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 531ක් වැය කරමින් ඉදිකළ මෙම “නාගරික රථගාල උද්‍යානය” පැවති නාගරික රථගාල මත ඉදිකර තිබේ.
    මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියෝ මෙහි පැමිණ සිටි පිරිස පංච සීලයේ පිහිට වූහ.
    අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමියෝ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

    "මේ නගරය ආරම්භ වුණේ 1312 දි 4වැනි පරාක්‍රමබාහු රජ දවසෙයි. අපි සතුටු වෙනවා මේ විසි එක්වැනි සියවසේ අපේ වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් ඒ නගර සිරිය යළි අපට, රටට, පුරවැසියන්ට ලබා දීම පිළිබඳව. මේ නගරයේ තිබෙන විශේෂත්වය නම් දළදා වහන්සේම අවුරුදු 425කට අධික කාලයක් වැඩ වාසය කර තිබෙනවා. ඒ නිසා බුදුන් වැඩ සිටි සමයේ සැවැත්නුවර,රජගහ නුවර, කිඹුල්වත් නුවර,වගේ ඉතා පූජනීය නගරයක්. සංස්කෘතික වටිනාකම්වලින් අනූන මේ නගරය ලෝක උරුම නගරයක්. ලොවට සංස්කෘතිය කියාපාන දළදා පෙරහර එහි දී මුල්තැනක් ගන්නවා. අපි ඒ නිසා මේ නගරයට නව පණක් ලැබෙන අවස්ථාවේ ප්‍රධාන විහාර විධියට අස්ගිරි මල්වතු විහාර මේ සඳහා ආශිර්වාද කරනවා.
    අද වර්තමාන ජනාධිපතිතුමා විශාල පරිශ්‍රමයක් දරනවා මේ රට සෞභාග්‍ය කරා ගෙන යන්න. ඉතිහාසයේ සෞභාග්‍යමත් මිනිසුන් ඉඳලා තියෙන්නේ ශක්තිමත් නායකත්වයක් සහ ශක්තිමත් රජයක් යටතේයි.
    අපට පාලකයෝ කොතෙකුත් ඉන්න පුළුවන් නමුත් නායකයෝ අවශ්‍යයි.
    ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ නායකත්වයේ ඉඳගෙන මේ රටට සෞභාග්‍ය ළඟා කරයි කියල විශ්වාසයක් තිබෙනවා. රටක් දියුණු වීමේදී විශේෂයෙන් සංකල්ප අවශ්‍යයි ආකල්ප අවශ්‍යයි.
    රට දියුණු වෙනවනම් කාරණා හතරක් ගැන අවධානය යොමු කරන්නට ඕන.
    පළමුවැනි කාරණය රට ගැන හිතන්නට ඕන. දෙවැනි කාරණය තමන්ගේ රාජකාරිය ගැන හිතන්නට ඕන. තුන්වෙනි තැනට තමන්ගේ පවුල ගැනත් ඊළඟට තමන් ගැනත් හිතන්නට ඕන.
    අභාග්‍ය නම් අපේ රටේ වැඩි දෙනා ඔය පිළිවෙල අනික් පැත්තටයි අනුගමනය කරන්නේ මුලින්ම තමන් ගැන ඉන්පසු පවුල ගැන ඉන්පසු රාජකාරිය ගැන අන්තිමට රට ගැන හිතනවා. ඒ නිසා අන්න ඒ ගමන් මග වෙනස් කිරීමට දැන් රටේ නායකත්වයක් අපට තිබෙනවා.
    ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරන්නට ඕන. අපට තිබෙන අභියෝග රටට තිබෙන අභියෝග අපි තේරුම් ගන්නට ඕන. රටේ අගමැතිතුමාට ජනපතිතුමාට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් මේ රට ගොඩ ගන්න අමාරුයි. ඒ නිසා අපි පුරවැසියන් වශයෙන් කවුරුත් ඒ සඳහා සහයෝගය දෙන්නට ඕන. ඇත්තෙන්ම වැදගත් වන්නේ අවුරුදු පහකට යම් රජයක් පිහිටෙව්වාට පසුව ඒ රජයට සහයෝගය දෙන්නට ඕන. බල අරගලය වෙනුවෙන් එය වැට්ට වීමට එය උදාසීන කිරීමට කටයුතු කරනවනම් එයින් පීඩාවට පත් වන්නේ මහජනතාවයි
    ඒ නිසා අපි ඉවසීම ප්‍රගුණ කරන්නට ඕන, විවේචන කරන්නට ඕන, හැබැයි මෙන්න මේ වගේ හොඳ වැඩ අගයන්නට ඕන. යැයි අනු නාහිමියෝ පැවසූහ.
    වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා

    මහනුවර අධිවේගී මාර්ගය ඔබ තුමාගේ කාලෙදි මුල්ගල් තියල අද වෙනකම් සිහින දකිමින් හිටපු ව්‍යාපෘතියක්. ඔබතුමා වගේම අපිත් මහනායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා බැහැදකින්න ගියාම නිතරම ඇහුවේ අපෙන් අධිවේගී මාර්ගයේ කටයුතු කොහොමද කියන කාරණය. ඊයේ දිනයේ අපිට තවත් බලාපොරොත්තුවක් දැල්වූ දවසක්.

    අපි දැක්කා අග්‍රාමාත්‍යතුමා පැහැදිලි නියෝගයක් ලබල දුන්නා ඉතිරි කොටස ගලගෙදර දක්වාත් ඒ වගේම කඩවත මීරිගම කොටසත් අවුරුදු එකහමාරක් දෙකක් අතර අවසන් කරන්න කියල.
    ඒ වගේම තමයි අපේ අති උතුම් දළදා වහන්සේ වැදපුදා ගන්නට එන මහජනතාවට , බැතිමතුන්ට ඒ අයගේ අවම පහසුකම් සපයා ගන්නවත් ස්ථානයක් මහනුවර තිබ්බේ නැහැ. විශේෂයෙන් දුරබැහැර සිට බස් වලින් ඇවිල්ල දළදා හාමුදුරුවෝ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් ඒ අයගේ අතපය පිරිසිදු කරගන්න, මල්වට්ටි ටික හදාගන්න, සුදු ඇදුමක් ඇවිල්ල මාරුකර ගන්න, ඉතාම ඉහළම විදිහේ තට්ටු හතරකින් සමන්විත ගොඩනැගිල්ලක් මේ ව්‍යාපෘතිය හරහා අවසන් කරලා තියෙනවා.
    මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා

    අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන්නේ තිස් වසරක ත්‍රස්තවාදය මුලිනුපුටා දමා මේ රටේ භෞමික අඛණ්ඩතාව රැකදුන් අභීත නායකයකු වශයෙනි. එමෙන්ම අග්‍රාමාත්‍යතුමා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ජන නායකයෙක් බව මෙහි දී සිහිපත් කිරීමට කැමතියි. ඔබතුමාගේ දේශපාලන දිවියට දැන් වසර 52ක් පිරෙනවා. කොවිඩ් වසංගතයත් සමඟ අප සියලු දෙනා අභියෝග රැසකට මුහුණ පා සිටින අවස්ථාවේ මෙම සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිමා කර ගැනීමට හැකිවීම අප මෙන්ම මහනුවර ජනතාව ලැබූ භාග්‍යයකි. මේ වෙනුවෙන් මහනුවර නගර සභාවේ ස්තුතිය පිරිනමන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
    මෙම අවස්ථාවන්ට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, මහනුවර නගරාධිපති කේසර සේනානායක, විපක්ෂ නායක සේන දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජජනරාල් ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ පී.ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya