මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයේ “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති සහභාගීත්වයෙන්

    ජනවාරි 17, 2022

    සමන් දේවාල පුදබිමට පැමිණි ජනපතිට ජනතාවගෙන් හරසර ...

    රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය (16) පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාල පුදබිමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් සිදු කෙරිණ.

     

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ලබා දී එය ආරක්ෂා කිරීමත් පෝෂණය කිරීමත් අරමුණු කරගෙන ජනාධිපති කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඒ යටතේ කුල දරුවන් සසුන්ගත කිරීම, භික්ෂූන් වහන්සේගේ හා සිල් මෑණිවරුන්ගේ සෞඛ්‍ය රක්ෂණය, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාව, ආකල්ප වර්ධනය, කුසලතා ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර භාෂා පාඨමාලා සඳහා සහාය වීමට ප්‍රමුඛස්ථානය ලබා දෙයි.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා පීඨය භික්ෂූන් වහන්සේ උදෙසා ඉංග්‍රීසි, දෙමළ, චීන, හින්දු, ජපන් සහ ජර්මන් භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී තිබේ.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමට සැලසුම් කර තිබේ. එය සංකේතවත් කරමින් ජාත්‍යන්තර භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එකළොස්නමක් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    රත්නපුර මහා සමන් දේවාල පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරතව ආශීර්වාද ලබාගත්තේය. පුදබිමට රැස්ව සිටි අති විශාල ජනකායක් ජනාධිපතිතුමාට හරසර දැක්වූ අතර ජනාධිපතිතුමා ඔවුන් සමග කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය.

    අමාත්‍ය වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මුදිතා ද සොයිසා, අකිල එල්ලාවල, දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර යන මහත්ම මහත්මීහු, මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya