අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සියක් නගර” වැඩසටහන යටතේ වතුකරයේ නගර ද සංවර්ධනය කිරීමට පියවර - බදුල්ල, ස්ප්‍රීන්වැලි නගරයට පහසුකම් රැසක්.

    ජනවාරි 16, 2022

    “දැයක් නගන - සියක් නගර” වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාහතාගේ උපදෙස් අනුව වතුකරයේ නගර කිහිපයක් ද සංවර්ධනයට ලක්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


    වසර ගණනාවක් තිස්සේ වතුකරයේ කිසිඳු අවධානයකට ලක් නොවූ නගර සියක් නගර වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම ගැන වතුකරයේ ජනතාව සිය ප්‍රසාදය පළකර සිටිති.

    දැයක් නගන - සියක් නගර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාහතාගේ උපදෙස් මත ඇරඹූ සංවර්ධන ව්‍යාපෘතින් රැසක් අතරින්, සංවර්ධන ව්‍යාපෘති බහුතරයක කටයුතු මේ වන විට අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව, මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබිණ.

    ක්‍රියාත්මක කළ එම ව්‍යාපෘති අධීක්ෂණය කරනු ලබන්නේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. ඒ විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මතය. දැයක් නගන - සියක් නගර ලෙසින් නම් කර තිබූ මෙම නගර සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුකම් සහිත සංවර්ධිත ක්‍රමවත් ක්‍රියාකාරී පරිපූර්ණ නගර ලබාදීම ක්‍රියාත්මක කරනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරියයි.

    නගර සංවර්ධනයේ දී අනුගමනය කළ යුතු සියලු නියමයන් සහ කොන්දේසි යටතේ අදාළ සියලු නගරයන් සංවර්ධනය කිරීමට, අගමැතිතුමාගේ මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී පියවර ගෙන තිබිණ. ඒ, එක් එක් නගරයන් පවත්නා ප්‍රදේශයන්ට සහ පරිසර තත්වයන්ට හානි නොවන සේ අදාළ නගර සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමෙනි.

    මෙම කරුණු යටතේ පෙළ ගැස්වූ විවිධ සමාජ පංතීන් නියෝජනය කරන කොටස් අතරින් වතුකරය නියෝජනය කරමින් තෝරාගත් එක් නගරයක් වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ප්‍රිංවැලි නගරයයි.

    ඒ අනුව ක්‍රියාත්මක කළ බදුල්ල සංවර්ධන ව්‍යාපෘති අතරින් ස්ප්‍රිංවැලි නගරයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ මේ වන විට ක්‍රියාත්මකව පවතියි.

    බදුල්ල ස්ප්‍රිංවැලි නගරය යනු ලංකාවේ ආර්ථිකයට ඍජු දායකත්වයක් සපයන තේ වැවිලිකරයේ පිහිටි කුඩා නගරයකි. මනා ආර්ථික දායකත්වයක් රටට ලබාදෙමින් තේ කර්මාන්තයේ පැවැත්මට ශ්‍රම දායකත්වය සපයන විවිධ ජන කොටස් රැකියාවේ නියුතු ප්‍රදේශයකි. එමෙන් ම දේශීය හා විදේශීය සංචාරකයින් ගමන් ගන්නා සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල - වැල්ලවාය නගරයට ගමන් කිරීමට දර්ශනීය මාර්ගයක් ඇති ඉතා කුඩා නගරයක් වන ස්ප්‍රිංවැලි නගරය අවම පහසුකම්වලින් යුත් කදුකර ප්‍රදේශයකි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ද අවම මට්ටමක පවතියි. ප්‍රදේශයේ ජනතාවට බස් රථ නැවතුමක් පවා මෙම කුඩා නගරය තුළ මෙතෙක් නොතිබිණ.

    ඒ අනුව, සියක් නගර ව්‍යාපෘතිය යටතේ එම අඩුව සම්පූර්ණ කිරීමට යොමුවූ රජයේ අවධානය මත, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ප්‍රිංවැලි නගරයට නව සංවර්ධන සැලැස්මක් සකස් කෙරිණි.

    ස්ප්‍රිංවැලි නගරය කුඩා වෙළඳසැල් කිහිපයකින් යුතු කඩමණ්ඩියකි. මෙහි බස් රථ නැවැත්වීම සිදුකළ ද බස් රථ නැවතුමක් නොතිබිණ. ඒ වෙනුවට එම ස්ථානයේ තිබෙන විශාල ගසක් බස් රථ නැවතුම් ස්ථානය ලෙස භාවිතා කෙරිණ. එම අඩුව සපුරාලමින් සියක් නගර සංවර්ධනය යටතේ ක්‍රමවත් බස් රථ නැවතුමක් ද ඉදිකිරීමට කටයුතු කෙරිණ.

    නගරයට පැමිණෙන ජනතාවට මෙතෙක් අහිමිව තිබූ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම ද ඒ යටතේ ම ඇරඹිණ. ඒ අනුව පිරිමි, ගැහැණු සහ ආබාධිත යන අංශ තුන සඳහා ක්‍රමවත් සහ පිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිළි පද්ධතියක් එහි සකස් කිරීම ද ඇරඹිණ.

    නගර ආසන්නයේ පිහිටි නොගැඹුරු හෙලත්, ඒ මැදින් ගලා බසින ජල පහරත් සමඟ වූ දැඩි වංගුව සහ කැඩී බිදී ගිය ඇල ඉවුර අනාරක්ෂිතව පැවතිණ.

    වංගුව වටා ඉදිකර තිබූ දිගින් අඩු ආරක්ෂිත අත්වැට අබලන් තත්ත්වයක පැවතිණ. එමඟින් ඒ අවට බිම් ප්‍රදේශය ද අනතුරුදායක තත්වයක පැවතිණ. ඒ අනුව, අත්වැට අලුතින් සැකසීම, එම ප්‍රදේශය බිම් ඇතුරුම් ගල් අල්ලා අලුතින් සකස් කිරීම මඟින පදික ජනතාවගේ ආරක්ෂාව ගැන ද මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන් අවධානය යොමු කර තිබුණි.

    ස්ප්‍රිංවැලි නගරයේ ඇරඹුණු සංවර්ධනය පිළිබඳ වතුකර ජනතාව බලාපොරොත්තු සහගතව බලාසිටියි. එය තුළින් අඩුපහසුකම් යටතේ පවතින ලැයිම් කාමරවල ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඉදිරියේ දී එම පහසුකම් ලබාදීම කෙරෙහි ද නාගරික සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී තිබේ.

    සුබ සාධන වෙළඳසැලක් හෝ සමූපාකාරයක් නගරයට ලබාගැනීම ද ඔවුන්ගේ අපේක්ෂාවයි. තමන්ට අත්‍යවශ්‍ය ගමන් බිමන් යාම බස් ධාවනය වන කාල සටහනෙහි යම් යම් සංශෝධන සිදුකරන ලෙස එම පිරිස ඉල්ලා සිටිති.

    ප්‍රමාද වී හෝ ආරම්භ කළ තමන්ගේ නගරය සංවර්ධනයේ ඉදිරි පියවර තුළ, පැවති ජීවිත දියුණුව කරා ගමන් ගත් බවත්, එමඟින් තම ජීවීතවලට නව ප්‍රබෝධයක් ඇති වූ බවත්, තමන්ගේ ඉදිරි අරමුණු ද ඒ අනුව ඉටුවනු ඇති බවට අපේක්ෂා කරන ස්ප්‍රිංවැලි වතු ජනතාව, ඒ බව රජය දැනටමත් සනාථ කරමින් සිටින බව ද ප්‍රකාශ කරති.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya