අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සිංගප්පූරු පුහුණු වැඩසටහනක්

    ඔක්තෝබර් 19, 2021

    ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින සිංගප්පූරුවේ වෛද්‍ය හා සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.

    කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එරට වෛද්‍ය හා සෞඛ්‍ය සේවාවේ ඉහළ දැනුම මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබා දීම මෙහි අරමුණ වේ. ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු “තමාසෙක්” පදනමේ ( Temasek Foundation) මූල්‍ය දායකත්වයෙන් සිංගප්පූරුවේ “නැන් යෙන් “ (Nyan Yan)පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනය මගින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (18) පැවැත්විණී. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට එක් විය. මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් , සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය මෙන්ම “නැන් යෙන් “පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් හා“තමාසෙක්” පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සිට තාක්ෂණික වශයෙන් කටයුතු කරන පහළම නිලධාරීන් දක්වා සෞඛ්‍ය සේවාවේ පිරිස් මෙම පුහුණූ වැඩසටහනට යොමු කිරීමට සැලැසුම් කර ඇත. මේ සඳහා වන මූලික පුහුණුව Zoom තාක්ෂණය ඔස්සේද අනතුරුව සිංගප්පූරුවේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීමද අරමුණ වේ.

    සිංගප්පූරුව ලොව ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත් කිරීමම සඳහා එරට හිටපු ජනාධිපති ලීක් වාන් යූ මහතා වෙහෙස නොබලා ගෙනගිය ගමන් මග ආසියානු රටක් ලෙස අපට ආඩම්බරයක් ගෙනදෙන බවත් ඔහුගේ කාර්යක්ෂම පරිපාලනය විස්මිත සිංගප්පූරුවක් ගොඩනැගීමට ඉවහල් වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය. යෝජිත වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් තුළින් නිපුණතාව ලබා ගැනීමට හැකිවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට වඩාත් වැදගත් වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

    එරට ජනතාවගේ වටිනාකම් අතර විනය සහ රටට ආදරය කිරීම අපට උගත හැකි කරුණු අතර ප්‍රමුඛ වන බවද හෙතෙම කීය. “තමාසෙක්” ජාත්‍යන්තර පදනම 2014 වසරේ සිටම මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව සෞඛ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව වැඩි කිරීම, කළමනාකරණය සහ නායකත්වය මෙන්ම හදිසි සත්කාර හා හෙද කළමනාකරණය ඉහළ නැංවීමට ලබා දුන් දායකත්වය අගය කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්, අධ්‍යක්ෂ (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය වජිර නානායක්කාර යන මහත්වරුද සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya