මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලා-දුන්-නබි දින සුභාශිංසන පණිවුඩය

    ඔක්තෝබර් 19, 2021

     

    මිලා-දුන්-නබි දින සුභාශිංසන පණිවුඩය

    ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ සුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

    මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට සිය පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආදර්ශයක් වෙමින් කැපවූ මුහම්මද් නබිනායකතුමා ඉස්ලාම් හර පද්ධතියක් ඇති කළ නියමුවාය. අන් අයගේ විශ්වාසය දිනාගත් නිසාම අල් අමීන් නාමයෙන් එතුමා ප්‍රචලිත විය.

    ඉස්ලාම් ආගමික ඉගැන්වීම්වල අනුව කලින් කල දෙවියන් විසින් එවන ලද දූතයන්ගේ අන්තිම දූතයා ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිනායකතුමාය. මවුපියන් අහිමිව කුඩා කල කටුක දිවිපෙවතක් ගතකළ එතුමා එඩේරයෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස තරුණ අවධිය ගතකරන්නේ සිය චාම් ජීවිතය සහ යහපත් සිරිත් විරිත් දුටුවන්ගේ නොමද ආදරයට සහ ගෞරවයට ලක්වෙමිණි.

    මුහම්මද් නබිනායකතුමා එවකට පැවැති සමාජයේ විෂමතාවයන්ට එරෙහිව බුද්ධිමත් විප්ලවයකින් ඇති නැති පරතරය නැති කර, සමානාත්මතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශාස්තෘවරයෙකි. දුසිරිතින් පිරුණු සමාජයකට අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු ලෙස නබිනායකතුමා පුරා විසිතුන් වසරක් දෙවියන්ගෙන් ලද මෙහෙවර මනාව ඉටු කළේය.

    ලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමය. දෙවියන්ගේ දූතයෙකු ලෙස නබි නායකතුමාගේ ඉගැන්වීමේ මූලික හරය වන්නේ ලෝකයේ ජීවත්වන මිනිසාට යහපත් මාර්ගය පෙන්වා දීමය. ඒ මග යන සියලු ඉස්ලාම් ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් දිය හැකි බව මාගේ විශ්වාසයයි.

    කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ගතකරන මෙවැනි දුෂ්කර කාල වකවානුවක් ජය ගැනීම උදෙසා නබි නායකතුමන්ගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කරගන්නැයි ඉස්ලාමීය ජනතාවට සිහිපත් කරමි.

    ආගමික වතාවත්වලට මුල් තැන දී අසරණ ජනතාවට පිහිටවෙමින් උතුම් නබිනායක උපන් දිනය අර්ථාන්විතව සමරන ශ්‍රී ලාංකික හා ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට ප්‍රීතිමත් මිලා-දුන්-නබි දිනයක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි!


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya