මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී වගාව සඳහා ගොවි සංවිධාන හා රජය අතර එකඟතාවක්

    ඔක්තෝබර් 16, 2021

    මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය.

    ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සාමාජීකයින් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙන ලදී.

    එම සංදේශය සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දෙසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පල වී තිබේ. මේ අනුව ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන බවත්, ඒ පිළිබඳව ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කරන බවත් මෙහිදී සහතික විය.

    ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීමටත්, එලෙස ලබාදෙන පොහොරවල වගකීම රජය විසින් භාරගතයුතු බවත්, මෙම පොහොර භාවිතයෙන් වගා කරන වී වගාවේ අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමටත් රජය එකඟ විය යුතු බවත් සඳහන් විය. මීට අමතරව දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බව ද මෙම කොන්දේසිවලට ඇතුලත් වී තිබේ. මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලය දිවයින පුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කොට මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කරගැනීමට සහාය දෙන බව මෙම බලමණ්ඩලයේ සභාපති, එස්.එම්.ජී. සමරකොන් මහතා සහතික විය.

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ කාබනික වගාව සඳහා රජය ගත් තීන්දුව මෙරටේ ජනතාගේ සෞඛ්‍යයට, පරිසරයට ඉතා හිතකර තීන්දුවක් බවයි. මෙම තීන්දුවේ දී මම ඉන්නේ ගොවියාගේ පැත්තේ. මෙමඟින් වකුගඩු රෝගය ඇතුළු බොහෝ රෝග අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදන බහුලවීමෙන් ජනතාවට පිරිසිදු පෝෂ්‍යදායී ආහාර ලබාගන්න පුළුවන් වෙනවා. එනිසා කුමන ආකාරයේ අපහාස, තාඩන පීඩන මැද්දේ වූවද මෙම ප්‍රතිපත්ති තීන්දුව ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya