මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමූහික ප්‍රයත්නයකින් නවීන හා නූතන සමාජයට ගැළපෙන මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කළ යුතුයි

    ඔක්තෝබර් 15, 2021

    සාමූහික ප්‍රයත්නයකින් නවීන හා නූතන සමාජයට ගැළපෙන මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කළ යුතු බවත්, නව ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේදී ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත්, එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත මඟහරින අගුලුලන ක්‍රියාවලියක්ද නොවිය යුතු බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් හඳුන්වා දුන් ආචාරධර්ම පද්ධතියට අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ(14දා) පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ''මීට වසර 40 කට පෙර එනම් 1981 පුවත්පත් සඳහා ආචාරධර්ම පිළීබඳ නිවේදනයේ අත්සන තබන්නේ එවකට කීර්තිමත් රාජ්‍ය නිලධරයකුව සිටි ආචාර්ය සරත් අමුණුගම විසිනි. ආචාර්ය අමුණුම මහතා විසින් මේ සඳහා සුභාශිංසන එක් කළා. '' ''මාධ්‍යවේදීන් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන දෙයක් තමයි ආචාරධර්ම කියන්නේ. මේ ආචාරධර්ම කියන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම නීතිය හා ආචාරධර්ම අතර තිබෙන වෙනස කුමක්ද? ආචාරධර්ම ගැන කථිකාවක් ඇති කරන මෙවැනි මොහොතක මෙම පාරිභාෂක වචනයේ තේරුම වටහා ගැනීම වැදගත් ලෙසයි මා දකින්නේ''


    ''නීතියක් කියන්නේ අප අනිවාර්යයෙන්ම එකඟ වී පිළිගතයුතු දෙයක්. එහෙත්ආචාරධර්ම පවතින්නේ එවැනි නෛතික තත්වයක් යටතේ නෙවෙයි. ආචාරධර්ම කියන්නේ යම් එකඟතාවයක් මත සිදුවන දෙයක්. නීතිය පිළිපැදීම සිදු නොකළහොත් හෝ නීතිය කඩකළොත් එයට නීතිය යටතේම දඬුවම් හිමිවෙනවා. ඒ වගේම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුවත් දඬුවම් විඳීමට සිදුවෙනවා. එහෙත් ආචාරධර්ම පිළිපැදීම හෝ නොපිළිපැදීම මත නීතිමය දඬුවම් දෙන්න බෑ''

    ''එසේ වුවත් නීතිමය තත්වය බිඳ දැමීම සිදු කළ තැනැත්තට මෙන් නීතිය තුළින් දඬුවම් දෙන්නට නොහැකි වුවත්, ආචාරධර්ම කඩ කළ තැනැත්තාට සමාජය තුළ යම් ප්‍රතික්ෂේප වීමක් දකින්නට පුළුවන්.''
    ''බොහෝ ජනමාධ්‍ය ආයතනවලට ආවේනික ස්වයං ආචාරධර්ම හඳුන්වා දී එය පිළිපැදීමට තිබෙන අයිතිය ලෝකය පුරා පිළිගන්නවා. උදාහරණ ලෙස බීබීසී සීඑන්එන් වැනි ආයතන සඳහා ඔවුන්ට ආවේනික ආචාරධර්ම පද්ධතියක් තිබුනත් මීට අමතරව ජාතික ආරක්ෂාව වැනි සංවේදී කරුණු වාර්තා කිරීම සඳහා වෙනමම නීති සකස් කර තිබෙනවා.
    ''
    ''මා විශ්වාස කරන්නේ අපේ සියලුම මාධ්‍ය සංසද, මාධ්‍ය වෘත්තිය සමිති, ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා පුවත්පත් මණ්ඩලය වැනි මේ සියලු දෙනා එවැනි නිරෝගී සංවාදයක් පවත්වා අපට ගැලපෙන
    නූතන හා නවීකරණය වූ ආචාරධර්ම සංග්‍රහයක් සාමූහිකව සම්පාදනය කරගතයුතු බවයි.'' ''එහෙත් එය ප්‍රකාශනයේ නිදහසට බාධා නොවිය යුතුයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත මඟහරින
    අගුලුලන ක්‍රියාවලියක්ද නොවිය යුතුයි.''
    ''මීට අමතරව මාධ්‍ය භාවිතාව තුළ වෙනස් විය යුතු තවත් අලුත් අප භාවිතා නොකළ අංගත් එකතු කරගැනීමට අපට හැකියාවක් පවතිනවා. විශේෂයෙන් බාලවයස්කාරයන් සම්බන්ධ පුවත් වාර්තා කිරීම වැනි කාරණාවලදී එයට තිබිය හැකි සීමා වැනි දේ සාකච්ඡා කළ හැකියි. එවන් සාකච්ඡා තුළින් ඇතිවන සාමූහික ප්‍රයත්නයෙන් අපට ගැලපෙන මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකසාගත හැකියි''
    ''ආචාරධර්ම අසාර්ථක වෙන තැනකදී තමයි නීතියක් ගේන්නට සිදුවන්නේ. ආචාරධර්ම තුළින් හික්මවාගතහැකි සමාජයක් කියන්නේ ඉහළ බුද්ධි මට්ටමක් සහිත සමාජයක් ලෙස අපට නම් කළ හැකියි. එවන් උසස් සමාජයක් ගොඩනගාගන්න අප කටයුතු කළයුතුයි''යනුවෙන් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya