අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අමතයි

    ඔක්තෝබර් 14, 2021

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,ඔක්තෝබර් 13 දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය.

     

    අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය.

    සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සාමූහිකව සමස්ත රාජ්‍යතාන්ත්‍රික බලකායම හමුවීමට ලැබුණු පළමු අවස්ථාව අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදීම අගය කළේය. පෙර පැවති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, එවැනි රැස්වීමක් මීට කලින් පැවැත්විය නොහැකි වූ බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුවේ අරමුණ වූයේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව තානාපති ප්‍රජාව සුහදශීලීව දැනුවත් කිරීමයි.

    ඉතා සාර්ථක එන්නත් කිරීමේ ප්‍රයත්නයකින් අනතුරුව, රටේ කොවිඩ්-19 තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට වාර්තා වීම පිළිබඳව සතුටු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැඩි අභියෝග මධ්‍යයේ වුවද, රට ක්‍රමයෙන් විවෘත කිරීම සඳහා පහසුකම් සලසමින්, රටේ ජනගහනයෙන් 70% කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. සංචාරක කටයුතු සහ ආර්ථික කටයුතු යළි ආරම්භ කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ සහයෝගය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මෙම කොවිඩ්-19 අර්බුදය තුළ එක්සත් ජාතීන්ගේ සියලුම නියෝජිතායතන මෙන්ම, පරිත්‍යාගශීලීන් සහ කොළඹ පිහිටි බහුපාර්ශ්වික මූල්‍ය ආයතන ද ඇතුළු රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගෙන් ලද සහයෝගය සහ සහය පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.

    ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සහ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දී එතුමා සමඟ නිරත වූ නිව්යෝර්ක් සංචාරයේ දී, සිදුකළ සිය මෑත කාලීන විදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, ලොකු කුඩා සෑම රටකින්ම සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය වන හදිසි ගැටලු විසඳීම සඳහා වූ ගෝලීය ප්‍රයත්න සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කළේය. මීළඟ ප්‍රධාන ජාත්‍යන්තර කටයුත්ත වන ග්ලාස්ගෝ හි පැවැත්වෙන COP 26 සමුළුවේ දී ජනාධිපතිතුමා සමඟ අමාත්‍යවරයා ද සහභාගී වන අතර, දේශගුණික වශයෙන් අවදානමට පත් විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිය කැපවීම් පිළිබඳව යළි අවධාරණය කරනු ඇත.

    මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය සඳහා, එම කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගිතාව මෙන්ම දේශීය ආයතන තුළින් සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ලබා ඇති ප්‍රගතිය ද විස්තර කරමින් තමන් කළ ප්‍රකාශය ද අමාත්‍යවරයා සිහිපත් කළේය. මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව තවදුරටත් යාවත්කාලීන කරමින්, එතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිගැනීම සඳහා විවෘතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් දේශීය වශයෙන් සිවිල් සමාජ නියෝජිතයින් මෙන්ම එක්සත් ජාතීන් ඇතුළු අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අවංකව සාකච්ඡාවල නිරත වන බවත්ය. කෙසේ වෙතත්, දේශීය ක්‍රියාවලීන් සිදු වෙමින් පවතින අතරතුර දී බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳ ප්‍රගතිය ද අමාත්‍යවරයා බෙදා හදා ගත්තේය.

    ඒකාබද්ධ කොමිසමේ සන්දර්භය තුළ මෙන්ම, ජීඑස්පී+ ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මෑතක දී නිරත වූ සංචාරයන් පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සාකච්ඡා ඉතා සුහදශීලීව පැවැත්වූ අතර, කැපී පෙනෙන කරුණු පිළිබඳව නිලධාරීන් අවධානය යොමු කර තිබීම ගැන ඇමැතිවරයා සතුට පළ කළේය. ඇඟලුම් ක්‍ෂේත්‍රයේ පමණක් නොව ද්විපාර්ශ්වික වෙළෙඳාමේ අනෙකුත් අංශවල ද ජීඑස්පී+ පහසුකම අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා සිහිපත් කළේය. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමට මෙන්ම අපේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් සහයෝගය අවශ්‍ය බව එතුමා සඳහන් කළේය. කොවිඩ්-19 වසංගතය මඟින් අපගේ සැලසුම්වලට සැලකිය යුතු පහරක් එල්ල කොට ඇති අතර, අපි යථා තත්ත්වයට පත් විය යුතුව පවතී.

    අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව ස්තූති කළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින්, ඔවුන් උනන්දුවක් දක්වන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබා දී ඇති අවස්ථාව අගය කළහ. රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ නිතිපතා සබඳතා පැවැත්වීමේ සිය අරමුණ ප්‍රකාශ කරමින් අමාත්‍ය පීරිස් මැතිතුමා රැස්වීම අවසන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya