අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නිපිටියේ සහ කොට්ටාවේ තවත් නිවාස සංකීර්ණ දෙකක් - ඉදිකිරීම් කඩිනම් කිරීමට අගමැති උපදෙස්

    ඔක්තෝබර් 13, 2021

    නිවාස නොමැති මධ්‍යම පාංතික පවුල් ඉලක්ක කරගනිමින් ඉදිකෙරෙන තවත් නිවාස ව්‍යාපෘති 02 ක ඉදිකිරීම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කඩිනම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    අගමැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම නිවාස සංකීර්ණ දෙකෙහි ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විට කඩිනම් කර තිබේ.

    ඒ අනුව පන්නිපිටිය, විරමාවතේ වියත්පුර සහ කොට්ටාව ග්‍රීන් ආකේඩ් නිවාස ව්‍යාපෘතිය (Green Arcade Apartment) යන නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර වියත්පුර නිවාස ව්‍යාපෘතියේ සහ කොට්ටාව ග්‍රීන් ආකේඩ් නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන වසරේ (2022) ජුනි මස 30 වන දින පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

    නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීමේ වැඩසටහන් කිහිපයක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙම නිවාස ව්‍යාපෘති පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ අනුව මධ්‍යම පාංතික ජනතාවට නව නිවාස ලබා දීමේ මෙම වැඩසටහන තවත් එක් නිවාස වර්ගයක ව්‍යාපෘතියක් පමණි. මීට අමතරව නිවාස නොමැති අඩු අදායම්ලාභී පවුල්වලට, අසරණ පවුල්වලට සහ තවත් වර්ග කිහිපයක නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

    ඒ යටතේ පන්නිපිටිය, වීර මාවතේ "වියත්පුර නිවාස ව්‍යාපෘතිය" සහ කොට්ටාවේ " Green Arcade Apartment‍" නමින් නිවාස සංකීර්ණ 02 ක් ඉදිකිරීම මේ වන විට සිදුකෙරෙමින් පවතියි.

    වියත්පුර නිවාස සංකිර්ණය බිම් මහල සහ මහල් 09 කින් යුක්ත වෙයි. 2022 ජූනි මස 30 වන දිනට සම්පූර්ණ වැඩ අවසන් කිරීමට නියමිතයි. එසේ ම 2022 මාර්තු මස 31 වන දිනට මෙහි ඒකක 04 ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙය A,B,C වර්ගයේ නිවාස 500 කින් යුක්තයි. පිළිවෙළින් වර්ග අඩි 750, 950, 1050 ප්‍රමාණයෙන් යුත් මෙහි නිවසක මිල රුපියල් මිලියන 10.5 සිට රුපියල් මිලියන 14.7 දක්වා නියමකර ඇත.

    මෙම නිවාස සංකීර්ණයේ නිවාස 187 ක් මේ වන විට පෞද්ගලික ගැනුම්කරුවන් විසින් වෙන්කරගෙන සිටියි. සෙසු නිවාසවලින් නිවාස 50 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ද, නිවාස 101 ක් ආරක්ෂක අමාත්‍යාංශයට ද, නිවාස 147 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයන්ට ද වෙන්කර ඇත. මෙහි පිටතින් පැමිණෙන වාහන සඳහා ද වාහන 40 ක් නැවතීමට හැකි රථගාලක් ඉදිකර තිබේ.

    වර්ග අඩි 750 ක නිවසක් සඳහා කාමර 02 කින් සහ එක් වැසිකිළියකින් ද, වර්ග අඩි 950 ක නිවසක් සඳහා කාමර 03 කින් සහ වැසිකිළි 02 කින් ද, වර්ග අඩි 1050 ක නිවසක් සඳහා නිදන කාමර 03 කින් සහ වැසිකිළි 03 කින් ද සමන්විත වේ. මෙම පහසුකම් නිවාස සංකීර්ණ 02 සඳහා ම පොදු වේ.

    2022 ජූනි මස වැඩ අවසන් කිරීමට නියමිත කොට්ටාව, හෝකන්දර පාරේ කුලසෙවන වත්ත Green Arcade Apartment හි ඉදිකිරීම් 2021 සැප්තැම්බර් මස 30 වන දිනට 58.28% කින් අවසන් වී ඇති බව මෙම නිවාස සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු මෙහෙයවන නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දැනුම් දෙයි.

    බිම් මහල, ප්‍රධාන මහල සහ මහල් 09 කින් යුත් මෙම නිවාස සංකීර්ණය නව නිවාස 300 කින් සමන්විතයි. මෙහි රථගාලේ නේවාසික රථ 300 කට ඉඩ පහසුව සලසා තිබේ. අමුත්තන් වෙනුවෙන් වාහන 30 ක් නවතාලිය හැකි රථගාලක් ද ඉදිකර තිබේ.

    මෙහි නිවාස A,B,C ලෙස වර්ග 03 කට බෙදා ඇත. A වර්ගයේ නිවසක් වර්ග අඩි 750 කින් ද, B වර්ගයේ නිවසක් වර්ග අඩි 950 කින් ද, C වර්ගයේ නිවසක් වර්ග අඩි 1050 කින් ද යුක්තවේ.

    මෙම එක් නිවසක් රුපියල් මිලියන 13.1 සිට 18.4 දක්වා මිලකට නියම කර ඇති අතර, එම නිවාස 300 ම මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත වෙන්කර තබා ඇත. මෙම නිවාස සංකීර්ණයන්හි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ලෙස සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම කටයුතු කරයි. නිවාස සංකීර්ණ 02 සඳහා වෙළඳසැල් 05 ක්, අවන්හල් 01 ක් සහ තවත් පහසුකම් ද ලබා දී තිබේ.

    මෙම නිවාස සියලු ම පහසුකම්වලින් සමන්විත වන අතර, මහල් නිවාස සංකීර්ණයක් ලෙසින් පැවතිය ද පවුලක සහ එකිනෙකාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙස ඉදිකර තිබීම මෙහි විශේෂත්වයක්වේ.මෙම නිවාස සංකීර්ණ දෙකෙහිම නිවාස සැලසුම හර්ෂ ජී පීරීස් මහතා විසින් සිදු කර තිබේ.නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නිවාස ව්‍යාපෘතීන්හි සියලු ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya