අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වසා දැමීම නිසා දරුවනගේ ශාරීරික හා මානසික සෞඛ්‍යට බලපෑම්- සෞඛ්‍ය ඇමති

    ඔක්තෝබර් 13, 2021

    ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති වූ බධාවන් ඔස්සේ දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයටද බලපෑම් එල්ල කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

     

    දරුවනගේ මනෝ සමාජයීය මෙන්ම නව යොවුන් වියේ හැසිරීම් සමස්ත යහපැවැත්ම කෙරෙහි බලපාන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය රටවල්හි පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සූම් තාක්ෂණය ඔස්සේ (12) ආරම්භ වූ සමුළුවකදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

    කලාපීය රටවල්හි සියලු සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යවරුන් නියෝජනය කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා “පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක වීම සඳහා වූ කැඳවීම” යෝජනා කරමින් මේ බව සඳහන් කළේය. සෑම පාසලක්ම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් ලෙස ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟින් යුනෙස්කෝ , යුනිසෙෆ් ,එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ), එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන (WFP ) , ඒකාබද්ධ වී රටවල් 11 ක අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් විය.

    මෙම සමුළුව එළඹෙන 14 වන දා දක්වා පැවැත්වෙන අතර එය තාක්ෂණික සමුළුව ලෙසින් ක්‍රියාත්මක කෙරේ.

    තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම වෙනුවෙන් ළමුන් හා නව යොවුන් වියේ දරුවන් සඳහා සෞඛ්‍ය සම්බන්ධයෙන් වන මැදදිහත්වීම ඵලදායී පුරවැසියන් බිහිකිරීම උදෙසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ වැදගත් අංගයක් ලෙසින් මෙමගින් අවධාරණය කෙරේ.

    දරුවන් පාසලෙන් දුරස් වන තරමට නැවත පාසල් කරා පැමිණීම දුෂ්කර වනු ඇතැයිද එනිසා මෑත දශක කිහිපය තුළ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශය වැඩි කිරීමේදී ලබාගත් ජයග්‍රහණ අහිමි වීමේ අවදානමක් පවතින බවද මෙමගින් අවධාරණය කෙරේ.

    පාසල් වියේ දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන හා පරිසර ක්‍රියාකාරකම් පවත්වා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාක්ෂිතව පාසල් නැවත විවෘත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ අතර ශක්තිමත් අන්තර් සහයෝගීතාව වැදගත් වනු බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනෙස්කෝ , යුනිසෙෆ් හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන හා ආයතන හා එක්ව ක්‍රියාත්මක කරන ලද සෑම පාසලක්ම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් බවට පත් කිරීමේ වැඩසටහන අගය කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන කලාපීය සියලු පාසල් සඳහා අතිශය වැදගත් වැඩපිළිවෙලක් බවත් එය සාමාජික රටවල් පුරා වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

    තවදුරටත් පවතින වසංගත තත්ත්වය පදනම් කරගනිමින් හැකිතාක් ප්‍රමාණවත් මහජන හා සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් ඔස්සේ නැවත පාසල් ආම්භ කරන ලෙසත් ඒ තුළ ප්‍රමාණවත් ආරක්ෂිත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙසත් අනාගත හදිසි අවස්ථා හා වසංගත තත්ත්ව සඳහා සූදානම් වීම උදෙසා පාසල් තුළ සූදානම් වීමේ හා ඔරොත්තු දීමේ හැකියාව මෙම යෝජනාව තුළින් කියවේ.

    නැවත පාසල් ආම්භ කිරීමේදී සිසුන්ගේ ශාරීරික හා මානසික අවශ්‍යතා මෙන්ම සමාජ ආරක්ෂක හා යහපැවැත්ම සඳහා කඩිනම් පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක්ද මේ තුළ යෝජනා කෙරිණි.

    කලාපීය සමුළුව සඳහා “ක්‍රියාත්මක කිරීම සඳහා වූ කැඳවීම” යන යෝජනාවලිය ඉදිරිපත් කිරීමට පෙර මෙම සමුළුවට එක් වූ කලාපීය සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යවරුන් අදහස් දැක්වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් ඉදිරිපත් කළේය.

    ඒ අනුව එම සැසියේදී අදහස් ඉදිරිපත් කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා...

    පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය ඵලදායීව සිදු කිරීමට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වන අතර එහිදී ඇති වන දුරස්ථභාවයන් හා අඩුපාඩු හඳුනා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගන්නා උත්සාහය හා ලබා දෙන මාර්ගෝපදේශ ඉතා අගය කරනු ලබනවා. කොවිඩ් - 19 වසංගතය බෝ වීම වැළැක්වීමට කටයුතු කළයුතු ආකාරය හා සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැදගත්කම මින් අවබෝධ කර දී තිබේ. වර්තමානය වන විට මහජනතාවට මෙම අවදානම දැඩිව සන්නිවේදනය වී ඇති අතර සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි ගුරුවරුන්ගේ නිපුණතාවය හා දෙමව්පියන්ගේ දැනුවත් වීමද අත්‍යවශ්‍ය වේ.යහපත් සෞඛ්‍ය හා සමාජ සංවර්ධනයක් උදෙසා අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya