අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විවෘත කළ පසු එන සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ව්‍යාපෘති රැසක්

    සැප්තැම්බර් 26, 2021

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

    ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් උවදුර පහව ගොස් රට විවෘත වූ පසු ලංකාවට එන සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සූදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තයෙන් දිනකට රුපියල් මිලියන 10 ත් 22 අතර ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබිණ. පාස්කු ප්‍රහාරයෙන් පසු සහ කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් ආදායම අඩු විය.

    සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන රැසක් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතී. කොව්ඩ් උවදුර පහව ගොස් නැවත රට යථා තත්ත්වයට පත්වීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් එම ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ මඟුල් මඩු විහාරය සංවර්ධනය සහ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරයේ දියයට කිමිදී ශ්‍රී ලංකාවේ උරුමයන් දැක ගැනීමට හැකි කිමිදුම් ව්‍යාපෘතිය ඒ අතර සුවිශේෂ බව ලේකම්වරයා පැවසීය.

    බුදුරුවගල ඵෙතිහාසික පිළිරුව නැරඹීම සඳහා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් ද්විත්ව ගමන් මාර්ගයක් සකස් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය. ප්‍රදේශයේ සුන්දරත්වය වඩාත් හොඳින් නැරඹීමට හැකි පරිදි බුදුරුවගල වැව හරහා බෝට්ටු මගින් බුදුරුවගල පූජා භූමියට පිවිසීමේ සංවර්ධනය ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ත්‍රිකුණාමලය ආරක්ෂක බල කොටුවේ පිහිටා ඇති රහස් දොරටුව ඔස්සේ ගමන් කර බල කොටුවේ සුන්දරත්වය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව සැලසීමේ ව්‍යාපෘතියක් ද සිවිල් ආරක්ෂක බලකාය සහ යුද හමුදාවේ සහයෝගය ඇතිව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අලවල ප්‍රාග් ඵෙතිහාසික ස්ථාන සංරක්ෂණය කටයුතු ද දැන් ආරම්භ කර ඇතැයි රණසිංහ මහතා පැවසීය.

    ලෝක උරුමයන් වන අනුරාධපුරය සහ පොලොන්නරුව අතර පිහිටි රිටිගල පුරාවිද්‍ය භූමිය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරමින් පවතින බවත් නුදුරේදීම එම ලිපි ලේඛන ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

    සාකච්ඡාවට එක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේශ මධුභානු මහතා සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.

    මාර්ගගත (online) ක්‍රමයට ඓතිහාසික, පුරාවිද්‍යත්මක, වාස්තු විද්‍යත්මක ග්‍රන්ථ රාශියක් සහන මිලකට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. පර්යේෂණ, ළමා සාහිත්‍ය, පරිවර්තන,මාර්ගෝපදේශක කෘති මෙන්ම ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.

    බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කළ විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණ ද මාර්ගගත (online) ක්‍රමයට මිලදී ගත හැකිය. මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි නිල සමාජ මාධ්‍ය පිටුවට පිවිසීමෙන් හෝ 0774874081 සහ 0710581723 දුරකථන අංකවලට ඇමතීමෙන් හෝ වට්ස්ඇප් කිරීමෙන් ඒවා ලබා ගැනීමට පිළිවන. ඇණවුම් කළ දින සිට සතියේ වැඩ කරන දින 04 ක් ඇතුලත නිවසටම භාණ්ඩ එවන බවත් බෙදාහැරීමේ ගාස්තු භාණ්ඩ නිවසට රැගෙන එන නියෝජිතයාට ගෙවිය හැකි බවත් උදේශ මධුභානු මහතා කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya