මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

    සැප්තැම්බර් 17, 2021

    දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙහි පළමු එන්නත ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත අතර ඒ අනුව මෙරට ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇත.

    මහනුවර දිස්ත්‍රික්කයේ 150000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් අතර එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30000 ක ස්පුට්නික් එන්නත් අවස්ථා 02 කදී ලබා දුණි.

    ඖෂධ ආනායනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (15) පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීය.

    එලෙස මෙරටට ලැබීමට නියමිත ස්පුට්නික් මාත්‍රා තොගය දින 03 ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන බවත්, ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු බවත්අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් බවත්, ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99 % ට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවත් අමාත්‍යවරයා කීය.

    අත්‍යවශ්‍ය ඖෂධ වල කිසිදු හිඟයක් තැබීමට කටයුතු නොකරන බවත් දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසු කර ගනිමින් සැබෑ අවශ්‍යතාව හඳුනාගනිමින් ඒ අනුව කටයුතු කරන බවත් අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නිකරුණේ ඖෂධ තොග තබා ගැනීමේ අවශ්‍යතාවයක් එනිසා නොමැති බවත් ඒ මහතා කීය. අත්‍යවශ්‍ය ඖෂධයන්හි පාවිච්චිය විශ්ලේෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් අනවශ්‍ය ලෙස ඖෂධ තොග ගබඩාකර ගැනීමේ අවශ්‍යතාවක් එමගින් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    “සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම යටතේ ඉදිරි වසර 04 අවසන් වන විට මෙරටට අවශ්‍ය සියලු ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයීමට පියවර ගන්නා බවත් අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

    ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා බෙදාහැරීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, යන මහත්වරු සහභාගි වූ අතර මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya