අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ( Smart Face Mask) හඳුන්වාදෙයි  

    ජූලි 20, 2021

    තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.


    හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ  Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි.

    මෙම අති නවීන Smart මුව ආවරණය එළිදක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.
    මා ස්තූතිවන්ත වෙනවා Hirdaramani  ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා CirQ තාක්ෂණ ආයතනයටත් එකට අත්වැල් බැඳගෙන මේ කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවීම පිළිබඳව. රටක් විදියට ගෝලීය වසංගතයකට මුහුණ පා ඇති අසීරු අවස්ථාවක සමාජ, ආර්ථික වශයෙනුත් බොහෝ ක්ෂේත්‍රයන් කඩා වැටිලා ආර්ථික හා සමාජීය ව්‍යසනයකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. මේ සියල්ල යාවත්කාලීන කරගෙන කඩිනමින් රට ම විවෘත කරන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එන්නත්කරණය ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කර්මාන්තශාලා, ආර්ථික මධ්‍යස්ථාන , සංචාරක ව්‍යාපාරය  සාමාන්‍යකරණයට ගෙන ඒමට අප දැඩි උත්සායහක් දරනවා.

    ඔබ දකින්න ඇති පසුගිය කාල සීමාව තුළ මේ රටේ තරුණ තරුණියන් සහ දූ දරුවන් නව නිර්මාණ විශාල ප්‍රමාණයක් නිපදවූවා. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා CirQ තාක්ෂණ ආයතනය නූතන ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ශ්‍රී ලංකාව ලෝකයට අරගෙන යන්න උත්සාහ කරන ආයතනයක්.  ඔවුන් නිර්මාණ රාශියක් කර තිබෙනවා.  ඔවුන්ට Hirdaramani  ආයතනයත් සමග එකතු වෙලා  මෙම නව නිර්මාණය සොයාගෙන පර්යේෂණ කරලා ඉතාමත් සාර්ථකව එය ලෝකවාසී ජනතාවට දායාද කරන්න හැකි වුණා.

    අපි නිරන්තරයෙන් උත්සහ කරන්නෙ ක්‍රීඩා ආර්ථිකයක් බිහි කරන්න. මෙය ක්‍රීඩකයින්ට විශාල සහයක් වෙයි. මෙවැනි කාල සීමාවක් තුළ ක්‍රීඩකයින්ට තිබෙන විශාල ගැටලුව තමයි මුඛ ආවරණය පැලදගෙන ක්‍රීඩා කරන එක. සාමාන්‍ය මුව ආවරණයකින් ක්‍රීඩකයින් මුහුණදෙන ගැටලු රාශියකට මෙම ස්මාර්ට් මුව ආවරණය හරහා පිළිතුරු ලැබිලා
    තිබෙනවා. මෙහි ඇති සංවේදක Bluetooth තාක්ෂණය හරහා ජංගම දුරකථන යෙදුමට (app)  සම්බන්ධ වී පැලඳ සිටින ක්‍රීඩකයාගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයේ සිට විවිධ වැදගත් දත්ත නිරීක්ෂණය කළ හැකියි.

    මෙම මුඛ ආවරණය පැළදීමෙන් ක්‍රීඩකයන්ට අපහසුතාවයකින් තොරව ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ස්මාර්ට් මුහුණු ආවරණය ලබා දී තිබෙනවා. මෙම නවතම තාක්ෂණය මුසු මුඛ ආවරණ සමඟ ඔවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනවා.
     
    100% දේශීයව නිෂ්පාදනය කළ මෙම ස්මාර්ට් මුව ආවරණය ගෝලීය වෙළඳපොළට ගෙනියන්න පුළුවන්. ඊට පෙර එය ඇගයීමක් වශයෙන් අපි භාවිතා කළ යුතුයි. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුලු උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ස්මාර්ට් මුව ආවරණය ලබාදෙන්න අපි කටයුතු කරනවා.
     
    රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයම එක්ව මෙවැනි  නව තාක්ෂණය මුසු ධානාත්මක නව නිපැයුම් එළිදැක්වීම පිළිබඳ මා සතුටුවෙනවා. මෙවැනි නව දේශීය නිෂ්පාදන ලෝකයට රැගෙන යන්න කටයුතු කරමු. මෙම ස්මාර්ට් මුව ආවරණයේ ගෝලීය වෙළඳපොළ වෙනුවෙන් නිෂ්පාදනයට මා සුබ පතනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
     

    මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය.
     
    BreathTech – S 3  යනු ස්වාභාවිකව දිරාපත්වන සෙලියුලෝස් මත පදනම් වූ අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද Smart සංවේදකයක් සහිත මුව ආවරණයකි.
     
    නව තාක්ෂණය මුසු දේශීය නිෂ්පාදනයක් වන මෙහි ඇති proprietary graphene sensor සංවේදකය හරහා හුස්ම ගැනීනම් වේගය, එය ශරීරය සමඟ සම්බන්ධවී ඇති ආකාරය සහ CO2 එක්රැස්ව ඇති ප්‍රමාණය ගණනය කරන අතර, අවදානම් තත්වයකට ළඟා වේ නම් ඒ සම්බන්ධයෙන් ජංගම දුරකතනයට ඇතුළු කළ හැකි App එකක් වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.
     
    ශ්වසන සංවේදක තාක්ෂණය ඇතුළත් කර තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech - S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය මෙයයි.  BreathTech – S³ පැළඳ සිටින පුද්ගලයාගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එම පුද්ගලයාගේ මුහුණට නිසි ආකාරයෙන් සවිව අවම කාන්දුවක් ඇතිවන බවට fit assessment තාක්ෂණය හරහා තත්කාලීනව නිරීක්ෂණය කරයි.
     
     BreathTech – S 3 හි සංවේදක අමුද්‍රව්‍ය (සංවේදක මූලද්‍රව්‍ය) ප්‍රශ්වාස වාතයේ ඇති සංඝටක සමඟ ප්‍රතික්‍රියා කිරීම තුළින් එහි විද්‍යුත් සන්නායක ගුණය වෙනස් කරයි.
     
    එම වෙනස්වීම් සංවේදකයේ සන්නිවේදන මොඩියුලයේ ඇති විද්‍යුත් පරිපරිපථය මඟින් හදුනාගන්නා අතර එය Bluetooth හරහා ජංගම දුරකතනයේ ඇති විශේෂිත යෙදුම (App) වෙත ලබා දේ.
     
    ඉන් අනතුරුව ඒ තොරතුරු එම යෙදුම  (App) සතුව ඇති අති නවීන තාක්ෂණයේ තොරතුරු සකස් කිරීමේ  machine learning algorithms හරහා තේරුම්ගෙන පරිශීලකයාට ලබාදීමට කටයුතු කරයි.  BreathTech – S 3 හි පෙරන ස්ථරය සංතෘප්තවීම නිසා මුව ආවරණය ලිහිල්වීම ගැන දැනුවත් කිරීමේ හැකියාව පවතී.
     
    එමෙන්ම මුව ආවරණය තුළ ඇති සංවේදකය තුළින් ඒ තුළ CO2 එක්රැස්වීම නිරීක්ෂණය කරන අතර, පළඳින පුද්ගලයාට අළුත් හුස්ම ගත යුතු අවස්ථාව දැනුම් දීමට ද එයට හැකියාව පවතී.
     
    BreathTech – S 3 හි විලාසිතානුකූල නිමැවුම සහ සුමට සැකැස්ම හේතුවෙන් එය විලාසිතානුකූල සහ සුවපහසු උසස් තාක්ෂණයෙන් යුතු මුව ආවරණයක් වන අතර එමගින් පළඳින පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරුවීම සිදුවේ.
     
    මේ සඳහා අතිනවීන සහ අනන්‍ය සංවේදකය නිර්මාණය කිරීමට SLINTEC ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර ගණනාවක පර්යේෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ මිනිරන් භාවිතා කර නිපදවන ලද මුද්‍රණය කළ හැකි Graphene යොදා සිදුකරන ඉතාමත් සංවේදී සහ අඩු පිරිවැයක් සහිත සංවේදක නිෂ්පාදන තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.
     

    100% සෙලියුලෝස් සහ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙය පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදනයක් වන අතර එහි යෙදුම (App) තුළ මෙම මුව ආවරණය නිසි පරිදි වගකීම්සහගතව බැහැර කිරීමට අදාළ උපදදෙස් ද ඇතුළත් වේ.
     
    පරිසර හිතකාමී කර්මාන්තශාලා තුළ නිපදවන මෙම පරිසර හිතකාමී Smart මුව ආවරණයේ ඇසුරුම් ස්වාභාවිකව දිරාපත්වන ලෙස සකස් කර තිබීමෙන්  මුව ආවරණ  හේතුවෙන් පරිසරයට එක්රැස් වන කසල ප්‍රමාණය අවම කළ හැකියි. 
     
    මේ තුළ ඉහළ කාර්යාක්ෂමතාවකින් යුත් පෙරහන් ස්ථරයක් අඩංගුවන අතර, වැඩි ආරක්ෂාව සඳහා බැක්ටීරියා විනාශ කරන තරල අඩංගු ස්ථරයක් ද  ඇතුළත් වේ.
     
    BreathTech-S³, තත්කාලීන fit assessment හරහා කුඩා අංශු සහ බිඳිති වලට නිරාවරණය වීම අවම කරන අතරම කාන්දු වීම වැළැක්වීම හරහා වැඩි ආරක්ෂාවක් ලබාදෙයි.
     
    මෙම අති නවීන Smart මුඛාවරණය 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට  සහභාගී වන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදීමට SLINTEC,, Hirdaramani සමූහය සහ CirQ Technologies ආයතන කටයුතු කර තිබේ.

    මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, උසස් දක්ෂතා කමිටුවේ සාමාජික මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මංජු ගුණවර්ධන, Hirdaramani ආයතනයේ සභාපති මහේෂ් හයිඩ්‍රාමනි, එහි අධ්‍යක්ෂ අක්ෂේ හයිඩ්‍රාමනි, තියෝ ගුණසේකර (CEO Hirdaramani Industries) යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ තාක්ෂණ ආයතනය යන ආයතන ත්‍රිත්වය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya