අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර නගරයට බලපාන ගංවතුර තර්ජනයට පිළියමක්

    ජූලි 19, 2021

    අනුරාධපුර නගරයට සෑම වර්ෂයකම බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස මල්වතු ඔය ප‍්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු අවසන් අදියරේ.

    සෑම වර්ෂයකදීම පවතින දැඩි වර්ෂාවත් සමග මල්වතුඔය ආශ‍්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම හා මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කිරීම සඳහා ජර්මන් පාලම අසල සිට කොහොඹගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප‍්‍රතිසංසකරණය කිරීම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීම මත අවසන් අදියරට පැමිණ ඇත.

    වසර ගණනාවකින් සංවර්ධනය ‌නොකෙරුණු මල් වතු ඔයෙහි බාධක ලෙස වැටී ඇති ගස් ඇතුළු අනෙකුත් බාධක ඉවත් කර, පිරී ඇති පස් දෙපස ඉවුරට ගොඩ ගසා, ඔය තුළ ඇති විශාල ගස් ඉතිරි කර පැරණි මල්වතු ඔය තරමටම මල්වතු ඔය පළල් කිරීම සිදු කෙරේ.ඊට අමතරව සෝදා පාලුවට ලක්වන ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමද සිදු කරනු ලබයි.දීර්ඝ කාළයක් පුරා. රොන් මඩ පිරීම හා ආක්‍රමණික ශාඛ ව්‍යාප්තිය හේතුවෙන් අවහිර වී තිබෙන මල්වතු ඔයේ පවතින ආක්‍රමණික ශාඛ හා රොන් මඩ ඉවත් කර ඔය පුළුල් කර ජලය ගලා යාමට ඇති බාධාවන් ඉවත් කිරීම මගින් වර්ෂා කාලයේදී පහසුවෙන් මල්වතු ඔය හරහා ජලය ගලා යාම මගින් අනුරාධපුරයට සෑම වර්ෂයකම ඇතිවන ගංවතුර පාලනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

    අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආපදාවට පෙර සූදානම වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර 2018 වර්ෂයේදී ජර්මන් පාලම අසලදී එවකට හිටපු කෘෂිකර්ම හා වාරී මාර්ග අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් සමාරම්භ කෙරිණි.ඉන් පසු සිදු වූ කැබිනට් අමාත්‍යය ධූරවල වෙනසත් සමගින් මල්වතු ඔය සංවර්ධන කටයුතු ඇණ හිට තිබුණු අතර, එහි දෙවන අදියර ලෙස 2019 වර්ෂයේ මුල් භාගයේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි‍.එහි තෙවැනි අදියර රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමක් අනුව වාරී මාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පසුගිය මාර්තු මස 01 වැනි දින ආරම්භ කෙරුණු අතර, මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇත.

    ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගග දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇල වේලි ශුද්ධ පවිත්‍ර කිරිම, රොන් මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම් ඇතුළු ගංවතුර අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ආශ්‍රිතව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට අවසන් වෙමින් පවතී. වසර ගණනාවකින් ප්‍රථිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් ආක්‍රමණික ශාඛ විශාල වශයෙන් මල්වතු ඔය අක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකි වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇති වන අතර, මේ වන විට එම අවධානම පහව ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

    මල්වතු ඔය සංවර්ධන කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එහිදී ගම්වාසීන් අමාත්‍යයතුමන්ට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළහ.මල්වතු ඔය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසත්, එහි කටයුතු සඳහා අවශ්‍ය උපදෙස්ද අමාත්‍යයතුමන් නිළධාරීන්ට ලබා දුන්හ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක,

    අනුරාධපුර නගරයේ සියලු දෙනාම දන්න දෙයක්, හැම වර්ෂයකම ඇති වෙන දැඩි වර්ෂාපතනයත් එක්ක මල්වතු ඔය දෙපස අයගේ වගාවන් විනාශ වෙනවා, තමන්ගේ ගෙවල් දොරවල් වල පවා ඉන්න බැරි වෙනවා, ඒ නිසා අපි මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළා ඒ ජනතාවගේ ගැටලුවට විසදුමක් ලෙස, අපිට එය සාර්ථකව සිදු කර ගන්න ලැබුණා. විශේෂයෙන්ම මම පුද්ගලිකව සතුටු වෙනවා, මීට වසර කීපයකට පෙර ආරම්භ කරපු වැඩසටහන අවස්ථා කීපයකදීම නතර වුණත් නැවත වතාවක් ආරම්භ කරලා අවසන් අදියර දක්වාම ගෙනයන්න ලැබීම පිළිබඳව, විශේෂයෙන්ම මල් වතු ඔය සුද්ධ පවිත්‍ර කරලා, පළල් කරලා එදා පැවතුණු මල්වතු ඔය නැවත වතාවක් ඇති කිරීමත් එක්ක, ගොවිජනතාවට වගේම ප්‍රදේශවාසීන්ට විශාල සහන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.අදත් අපෙන් ඉල්ලීම් කළා මේ ගම් දෙක යා වෙන පාර සකස් කරලා දෙන්න කියලා.ඒකෙන් පේනවා මේ ව්‍යාපෘතිය හරහා ගංවතුර ඇති වීම පාලනය පමනක් නෙමෙයි, අද ගමේ සංවර්ධනයත් වෙනස්ම විදිහකට ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මල්වතු ඔය සුද්ධ පවිත්‍ර කිරීමත් එක්ක අනාගතයේදී දේශීය සංචාරක කර්මාන්තයට පවා, මල්වතු ඔය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නිස්කලංක පරිසරයක ආහාර ගැනීමේ අවස්ථාව සැලසීමට ස්ථාන, නාන තොටු පළවල්, බෝට්ටු සවාරි සදහා අවස්ථාව සලසා දීලා මෙය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් විදිහට මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම පහළ මල්වතු ඔය ජලාශයත් මේ වන විට ඉදි වෙමින් පවතිනවා, ඒකත් මම වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කළ වැඩසටහනක් විදිහට චමල් රාජපක්ෂ ඇමතිතුමා මෙවර මේ ආණ්ඩුවෙන් විශාල මුදලක් ලබා දීලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා, එතැනදී අපිට පුලුවන්කම ලැබෙනවා කලාවැව වගේ 05 ගුණයක් විශාල ජලාශයක් ඇති කරන්න, එමගින් සිංහල අපිට පමණක් නෙමෙයි දෙමළ, මුස්ලිම් ජනතාවටත් වගා කටයුතු වලට වගේම, කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ ජීවන තත්වය උසස් කර ගන්න වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. අපි කවුරුත් භාවිතයට නොගෙන මල්වතු ඔය හරහා විශාල ජල ප්‍රමාණයක් මුහුදට ගලා ගෙන ගියා, ඒ වතුර ටික එකතු කර ගෙන අපේ පළාත ශක්තිමත් කරන්න, අපේ රට සශ්‍රික කරන්න අපිට ඒ හරහා පුලුවන්කම ලැබෙනවා.

    එහිදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය නගරාධිපති, ප්‍රේමසිරි හෙට්ටආරච්චි මහතා,

    මල්වතු ඔය කියන්නේ ලංකාවේ දෙවැනි දිගම ගඟ,ඒ වගේම අනුරාධපුර නගරය හැදිලා තියෙන්නෙත් මල්වතු ඔය ආශ්‍රිතව,මේ මල්වතු ඔය පහුගිය කාළය තුළ වාර්ෂිකව පිටාර ගලන තත්වයක් තිබුණා, ඒකෙදී අංශ කීපයකට ඒ ගංවතුර බලපෑවා, එකක් තමා නගරයේ පුරවැසියන් ජීවත් වෙන ගම්මාන ගණනාවක් ජලයෙන් යටවුණා,ඒ නිවාස ජලයෙන් යටවුණා, දේපළ විනාශ වුණා, විශේෂයෙන්ම ජයසිරිපුර, යසසිරිපුර, පවිත්‍රපුර, පුබුදුපුර, මිහිදුපුර, ජයන්තිපුර කියන ප්‍රදේශයම ජලයෙන් යටවුණා, ඊට අමතරව පැරණි නගරයට අයත් නාගදීප මාවත ප්‍රදේශය,සාලියමාවත, බංඩාරබුලංකුළම, බංඩාරපුලින්කුළම ජලයෙන් යටවුණා, එකපැත්තකින් මේක ජනතාවට බලපාන ගමන් මේ දෙපැත්තෙම තියෙන්නේ හාල්පානු ඇල ව්‍යාපාරයේ , අභයවැව ව්‍යාපාරයේ , නුවරවැව ව්‍යාපාරයේ හා පුලියන්කුළම ව්‍යාපාරයේ කුඹුරු, මේ කුඹුරුත් සෑම අවුරුද්දකම විනාශ වෙලා, ගොවීන්ට දෙපාර තුන්පාර නැවත නැවත වගා කටයුතු සිදු කරන්න සිද්ධ වුණා, ඒ නිසා ආර්ථික හානියක් සිද්ධ වුණා ජනතාවගේ.ඒ වගේම ගංවතුර කාලයට නගරයේ පුරවැසියෝ සෑහෙන පිරිසක් කඳවුරු වල තමයි හිටියේ, හැම පාසලකම, හැම පංසලකම කඳවුරු ඒකෙන් නගරසභාවටත්, රජයටත් විශාල ප්‍රශ්නයක් වුණා, ජනතාවට වියළි ආහාර, පිසූ අහාර ලබා දෙන්න වුණා, නැවත ජන ජීවිත යථා තත්වයට පත් වෙනකල් ජීවන ආධාර දෙන්න වුණා, කොට්ට- මෙට්ට, පැදුරු පවා දෙන්න වුණා, නිවෙස් තුළ තිබුණ රූපවාහිනි, පරිගණක, ශීතරකණ පවා විශාල වශයෙන් විනාශ වුණා. වාරී මාර්ග හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයා ලෙස දුමින්ද දිසානායක මැතිතුමන් කටයුතු කරන විට මේක ව්‍යාපෘතිය ආරම්භ කරලා පහුගිය කාලයේ යම් යම් බාධාවන් එද්දිත් අද වන විට චමල් රාජපක්ෂ ඇමතිතුමන්ගේ අනුග්‍රහයෙන්, දුමින්ද දිසානායක මහතාගේ අධීක්ෂණයද ඇතිව අද මල්වතු ඔය සංවර්ධනය අවසන් අදියරට පැමිණ තිබෙනවා, ඒ සඳහා නිළධාරීන් විශාල කැපකිරීමක් කරනවා යැයි පැවසීය.

    එහිදී අදහස් දැක්වූ ගම්වාසීනී කියා සිටියේ,

    මල්වතු ඔය ජලාශය සුද්ධ පවිත්‍ර කර දෙන ලෙස වසර ගණනාවක් මල්වතු ඔය දෙපස ජනතාව ඉල්ලීම් කළා, නමුත් වරින් වර දේශපාලඥයෝ මේකට මැදිහත් වුණාට මේක විසදුනේ නෑ, දුමින්ද දිසානායක ඇමතිතුමා දැන් මේ බර කරට අරගෙන කරගෙන යන්නේ, එතුමාගේ පියා වගේ ඉතිහාස ගතවෙන වැඩක් මේ කරන්නේ, අවුරුදු සිය ගණනකින් මේ මල්වතු ඔය සංවර්ධනය කරලා නෑ,පවුල් දහස් ගණනක් හැම දෙසැම්බර් මාසේම අවතැන් වෙනවා,ඒ අයගේ කුඹුරු විනාශ වෙනවා, ඒ අය වෙනුවෙන් කරන ලොකුම යහපත තමයි මේ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාමයි.අපි කියන්නේ මොන බාධක ආවත් මේක නවත්වන්න එපා කියලා ගම්මු හැටියට, ගොවියෝ හැටියට අපි ඉල්ලන්නේ, මේක අවසන් වෙනකල් කරලා දෙන්න කියලා තමයි මේ රජයෙනුත්, ගරු ඇමතිතුමාගෙනුත් යනුවෙනි.

    තවත් ගම්වැසියකු කියා සිටියේ,
    අපිට මේ වැඩේට ගරු ඇමතිතුමාට දෙන්න පුලුවන් පිං තමයි.මේක බොහෝම පිං අතේ වැඩක්, හැම දෙසැම්බර් මාසෙම වැස්සක් වහින කොට අපි දරුවෝ ටිකත් එක්ක ගිහින් ඉන්නේ ඉස්කෝලේ. අපි දෙසැම්බර් මාසේ වැස්ස වහින කොට දෙවියන්ට කියන්නේ පායන්න කියලා. හරි බයයි අපි මල්වතු ඔය උතුරලා අපේ ගෙවල් යටවෙනවා.අපේ ඇදුම් ටික විතරයි අපිට ගන්න පුලුවන් වෙන්නේ, අපේ ගෙවල් වල තියෙන වී ටික පවා දාලා අපි දුවන්නේ ඉස්කෝලෙට, එතනදී කවුරු හරි දෙන සහනාධාරයක් කාලා තමයි දවස් 10 කට විතර පස්සේ වතුර බැස්සට පස්සේ අපි ගෙදරට එන්නේ, දැන් ඒ සතුට අපිට තියෙනවා, මේ දෙසැම්බරේ අපිට ගෙදරට වෙලා ඉන්න පුලුවන්, අපේ ඇඳේ නිදා ගන්න පුලුවන් කියන සතුට තියෙනවා. ඒ් නිසා අපිට දුමින්ද දිසානායක මැතිතුමන්ට පිං කියන එක විතරයි අපිට කියන්න පුලුවන්.අපේ පවුල් 100 ක් විතර මේ ගම්මානයේ විතරක් යටවෙනවා. ඒ ජනතාවට පිහිට වෙලා එතුමා කර ගත්තේ ලොකු කුසල කර්මයක් යැයි පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya