මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර තරඟ පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. - අමාත්‍ය නාමල් රාජපක්ෂ

    ජූලි 16, 2021

    කබඩි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සිය 08 වන ඉහළ කාර්ය සාධන ගිවිසුම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සමගින් (14) දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ප්‍රමුඛතා ක්‍රමවේදයක් මත පදනම්ව දිගුකාලීන ජාත්‍යන්තර ජයග්‍රහන කරා යන වෘත්තීමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම අරමුණු කරගනිමින් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව, ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩාවක් ලෙස ප්‍රමුඛත්වය දිය යුතු බවට ජාතික ක්‍රීඩා සභාව විසින් නිර්දේශ කර ඇති කබඩි ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් ලක්ෂ 41,887,800/- ක මූල්‍යමය ප්‍රදානයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ කබඩි සම්මේලනය වෙනුවෙන් එහි සභාපති අනුර පතිරණ මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කබඩි ක්‍රීඩාව සාර්ථක ලෙස ප්‍රවර්ධනය කර ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙන යා හැකි ක්‍රීඩාවක් ලෙස අපි හදුනාගෙන තිබෙනවා. ඉදිරියේදී අපි ජාත්‍යන්තර පැන්චයිස් කබඩි තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන්න කටයුතු කරනවා. එය LPL ක්‍රිකට් තරඟාවලිය වගේ එකක්. ඒ හරහා ගමේ ඉන්න දක්ෂ නවකයින්ට කබඩි ක්‍රීඩාවට අවතීර්ණවීමට අවස්ථාව හිමි වෙනවා. ඉදිරි වසර දෙක තුළ කබඩි ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහන කරා යන්න අපි සූදානම්. ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම පසු කාලීනව ලෝක ශූරතාව වැනි ජයග්‍රහණ කරා කබඩි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුලුවන්.

    කබඩි ක්‍රීඩාවේ පැන්චයිස් ටූනමන්ට් හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි යන විශ්වාසය අපි තුළ තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා මෙන්ම, කළාපයේ ප්‍රචලිත ජනප්‍රිය ක්‍රීඩා නගාසිටුවීමට අමාත්‍යාංශයක් ලෙස අපි අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. කබඩි ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් ඉදිරියේදී ලංකාව තුළ පවත්වන් කටයුතු සූදානම් කර තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ සිටින අපේ දක්ෂ නවක ක්‍රීඩකයින්ට ඉදිරියට එන්න මෙවැනි තරගාවලි හරහා හොද අවස්ථාවක් ලැබෙනවා. කබඩි මෙන්ම අනෙක් ක්‍රීඩාවල ද ජාත්‍යන්තර තරගාවලි ලංකාවේ පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා.

    ජාත්‍යන්තර තරගාවලි සංවිධානය කර අපේ රටේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න අපි අවස්ථාව සළසා දිය යුතුයි. කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ අනෙක් රටවලද ක්‍රීඩාවේ යම් පසුබෑමක් තිබෙනවා. නමුත් සෑම රටක්ම නව සාමන්‍යකරණයට හුරු වී ඉදිරියට පැමිණ තිබෙනවා.

    දකුණු ආසියාවෙන් ම අපේ රට නව සාමාන්‍යකරණයට හුරුවෙමින් තරගාවලි පවත්වමින් කඩිනමින් ඉදිරියට පැමිණ තිබෙනවා. නව සාමාන්‍යකරණය තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ආරක්ෂිත ජෛව්‍ය බුබුල තුළ ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. සියලුදෙනාගේ ම සෞඛ්‍ය සම්පන්න ජිවිතය වෙනුවෙන් ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා.

    දරුවෙක් ක්‍රියාශීලි හා සෞඛ්‍ය සම්පන්න වුවහොත් හොඳ ක්‍රීඩකයෙක් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. එළඹෙන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුනි. ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය අපි ආරම්භ කරනවා. කොරොනා වසංගතය හේතුවෙන් ඒ සඳහා අපි පසුපෙළ කණ්ඩායම් දෙකක් සූදානම් කර තිබෙනවා. අවශ්‍ය වපසරිය අනුව අපි සියලු කටයුතු සූදානම් කර සැළැස්මක අනුව වැඩ කරගෙන යනවා.

    මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් කිසිදු ක්‍රීඩාවකට සැළැස්මක් තිබුණෙ නැහැ. එක එක අයට හිතුමතේ කාලානුරූපව ක්‍රීඩකයින් වෙනස් වුණා. නායකයෝ වෙනස් කළා. කණ්ඩායම් වෙනස් කළා, පුහුණුකරුවන් වෙනස් කළා.

    අද අපි සැලැස්මක් ඇතිව මධ්‍ය හා දිගු කාලීන ජයග්‍රහන කරා යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබෙනවා. කොරෝනා වසංගතය අපිට බාධාවක් නොවේ. යම් පසුබෑමකට ලක් වුනත් අපි අපේ සැලැස්මත් එක්ක ඉදිරියට යනවා. ඉන්දියානු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය නිසා ලංකාවේ ආර්ථිකයට මේ වෙනකොට ඩොලර් මිලියන 12 ක් ආදායමක් ලැබිලා තිබෙනවා.

    ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වුනාම මෙලෙස අපේ ආර්ථිකයට විදේශ විනිමය ගලාගෙන එන ක්ෂේත්‍රයක් විදියට ක්‍රීඩාව කාලාන්තරයකට පස්සේ පරිවර්තනය වීමට නියමිතයි. මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් සහභාගී වෙනවා. මෙහි විශේෂත්වය ලෙස ක්‍රීඩිකාවන් 05 දෙනෙක් ඒ අතර සිටිනවා. අපේ රටට ඔලිම්පික් ජයග්‍රහණයක් ගෙනැත් තියෙනවා සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඇය කාන්තාවක්. අපි බලපොරොත්තු සහිතව බලාගෙන සිටිනවා.‍

    මෙවර ඉතිහාසයේ පළමු වතාවට පරිසාධන මට්ටම අනුව ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා ක්‍රීඩිකාවක් තේරී පත්ව තිබෙනවා. පරිසාධන මට්ටම සපුුරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඔලිම්පික් සඳහා තේරී පත් ව තිබෙනවා. ඉතාම හොද කණ්ඩායමක් අපේ රට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනවා.

    එහිදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ පෞද්ගලික තරග වාර්තාව අභිබවා ගියොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මීළග තරගාවලි ජයග්‍රහණ කරා යන ආකාරය පිළිබදව බලාපොරොත්තු තබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් ද සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya