අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ-පළමු සරසවිය කෑගල්ලට

    ජූලි 15, 2021

    රැකියා සැපයීම වෙනුවට රැකියා නිර්මාණය කරන ආර්ථික පසුබිමක් සකසනවා-ජනපති කියයි 

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම - 2021” ට සමගාමීව අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

    නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කෙරේ.

    උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වේ. ඒ අතරින් ආර්ථික හැකියාව සතු සිසුහු පෞද්ගලික හෝ විදෙස් විශ්වවිද්‍යාල සඳහා යොමු වෙති. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

    ඒ ඒ දිස්ත්‍රික්කයන්ට ආවේණික මෙන්ම දේශීය සහ ගෝලීය රැකියා වෙළෙඳපොළට සරිලන විෂය නිර්දේශයක් මත උපාධි පාඨමාලා සැකසීම මෙහි විශේෂත්වයයි. උපාධි පාඨමාලාව අවසානයේ දැනුමෙන් හා වෘත්තීය කුසලතාවයෙන් පිරි අනාගත පුරවැසියෙකු නිර්මාණය කෙරෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

    තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    පවතින ගෝලීය තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව සඳහන් කළේය. තරුණ පරපුර නව තාක්ෂණය සමග මුසුව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි. මෙහිදී ලෝකය හා එක්ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නොවන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

    උපාධි ලාභියෙකුගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුව ද, කිසිදු රැකියාවකට ඇතැම් උපාධි පාඨමාලා නොගැළපීම නිවැරදි කිරීම වර්තමානය සතු වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

    උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපතිතුමා පැවසීය.

    සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ. පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතුය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya