මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රථවාහන තදබදය අවම කිරීමට කොළඹ - 11 ට නව රථ ගාලක්- රථගාල් 12 න් රථගාල් 04 ක ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

    ජූනි 22, 2021

    කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ - 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ කෙරිණ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථවාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

    කොළඹ - 11 ගෝල්ඩ් සෙන්ටර් රථගාල ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් තුනක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර කොළඹ - 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන්නේ හතරවන රථගාලයි.

    එකවර රථවාහන 400 ක් නවතා තැබිය හැකි අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වෙතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ මහල් 06 ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර අනෙකුත් මහල් වාණිජ භාවිතය සඳහා එනම් කඩ සාප්පු හෝ කාර්යාල සංකීර්ණ සඳහා භාවිතා කිරීමට හැකි අයුරින් සංවර්ධනය කෙරේ.

    අබ්දුල් කාදර් මාවතේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 1.85 කි. මෙම ව්‍යාපෘතිය වසර 02 ක් තුළ නිම කිරීමට අපේක්ෂිතයි.

    මෙම රථගාල සඳහා වෙන්කර ඇත්තේ කොළඹ - 11 අබ්දුල් කාදර් මාවතේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකි. මෙම මුළු රථගාලේ බිම් ප්‍රමාණය රූඩ් 03 පර්චස් 09 ක් වේ.
    මෙහි ප්‍රධාන සංවර්ධකයා ලෙස NEM සහ NE හවුල්කාරීත්ව සමාගම කටයුතු කරන අතර රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරන ලද අවුරුදු 30 ක බදු වටිනාකම රුපියල් මිලියන 675 ක් වේ.

    මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රථගාල ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya