අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    ජූනි 07, 2021

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි'' අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.


    අරලියගහ මන්දිරයේ සිට අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.


    එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මිත්‍රවරුනි,
    අද අපි මේ මුලපුරන්නෙ කොළඹ සහ මහනුවර අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා.
    මේ ස්ථානවල තිබෙන රථවාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද ? කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් මේවාට දුන්නෙ නැහැ.

    මිත්‍රවරුනි,
    කාලය කියන දේ අපි හැමෝටම වටිනවා. මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන්නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා.
    අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉඳිවන මේ රටේ 8වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්. එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.
    මන්තීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවනවිට, කොළඹ රථවාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් එමගින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.
    මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.
    මිත්‍රවරුනි,
    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.
    ජනතාවට මතක නම්, මේ එක වසංගතයක් වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසිම වැඩක් නොකර හිටියෙ. අද ඒ අයම අපෙන් අහනවා, අපි මොනවද කරන්නෙ කියලා.
    මිත්‍රවරුනි,
    වගකිවයුතු රජයක් විධියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.
    සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තම මැරෙනවා කියල එහෙමත් කිව්වා ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.
    හොඳ දේ හොඳ විධියට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගෙ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන්නෙ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතුවෙලා මුහුණදෙන්න.
    සංචරණ සීමා පැනෙව්වාම මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක්ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙලට ඔබේ සහය ලබාදෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂාවන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. එවිට මුළු රටම ආරක්ෂා වෙනවා.
    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.
    මිත්‍රවරුනි,
    දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා. ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම දෙනාත් ඊට හොඳ ශක්තියක් ලබාදෙන බව අපි දන්නවා. පසුගිය දා මධ්‍යම අධිවේගී මාර්ගයේත් රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භකරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.
    ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි සමඟ කිව්වා.
    මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධවී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැළසුම් කළ දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.
    ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙල අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.


    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා


    “බාන්ස්” ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති වුනා නම් ඒ අග්‍රාමාත්‍යතුමනි, ඔබ තුමා ජනාධිපතිවරයාව සිටි කාලයේදීයි. ඔබ තුමා තමයි කොළඹට සීමා වී තිබුණු කාපට් මාර්ග මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනිහිල්ලා කිලෝ මීටර් 12000 ක් 13000 ක් දක්වා යුද්ධයක් කරන ගමන් මේ රටේ යටිතල පහහසුකම් දියුණු කරපු නායකයා.
    අධිවේගී මාර්ග සංස්කෘතිය නිර්මාණය කරපු, හඳුන්වා දුන්න නායකයා ඔබතුමායි. ඔබතුමා 2015 දී පැරදුනේ නැත්නම් මේ මාර්ග ඔක්කොම හදල මේ ගුවන් පාලම් හදලා විශාල දියුණුවක් ලබන්න තිබුණා.
    කොවිඩ් ව්‍යාවසනය තියෙද්දී ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න අනන්ත කැපවීමක් වැඩ කටයුතුකරන අපේ ජනාධිපතිතුමාව ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ඔබතුමාගේ මහින්ද චින්තනයේ තිබ්බ වැඩපිළිවෙලත් ඒවගේම අලුත් වැඩපිළිවෙලකුත් සෞභාග්‍යෙය් දැක්ම ඇතුලේ තියෙනවා.
    ගරු ඇගමැතිතුමනි, මේ ව්‍යාපෘතිය කැබි‌නෙට්ටුවෙන් අනුමත වෙච්ච ගමන් විපක්ෂය කීවේ චීනුන්නට පාර දුන්න කියලයි. එදා ඔබතුමා මේ වරාය නගරයට මුල්ගල් තියනකොට එදත් කීවේ මුළු ඉඩමම චීන්නුන්ට දුන්න කියලයි.
    හැබැයි ඔබතුමා එහෙම කළේ නැහැ කවදාවත්. ඔබතුමා ඉතා මනා පරිපාලනයකින් ආර්ථිකය මෙහෙයවමින් මේ රටේ අනාගතය වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු කරපු නායකයා. ඔබතුමා කවදාවත් මේ රටේ තිබුණු සම්පත් විකුණපු නායකයෙක් නෙමෙයි.
    හැබැයි ඔබතුමාට මඩගහපු ඒ විපක්ෂය බලයට ඇවිල්ල කළේ ඔබතුමා බොහොම ආදරෙන් හදපු හම්බන්තොට වරාය අවුරුදු 99 කට දුන්නා. ඒ නිසා මේ වෙලාවේ මම මතක් කරනවා ඔබතුමා හිටියනම් කවදාවත්ම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි දන්නවා.
    ඒ නිසා අදත් ඔවුන් කරන්නේ මඩ ගහන එකමයි. එදා ඔබතුමා දකුණු අධිවේගී මාර්ගය හදනකොට කීවේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගේන්න කිරිපැණි ගේන්න තමයි අධිවේගී මාර්ගය හැදුවේ කියලා. අද පුළුවන් දිසානායක මහත්තයට ඒකෙන් කරදරයක් නැතිව ඇඹුල්තියල් ගෙන්න ගන්න ගෙදරටම.
    මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට කීවෙත් ඕන් චීන්නුන්ට දුන්න කියලා. පුළුවන් තරම් බලන්නේ මඩ ගහන්න.
    එදා 2015 න් ඉස්සල්ල හැම අතින්ම ඔබතුමාට අපහාස කරල ඔබතුමාගේ පවුලට අපහාස කරල ඔවුන් රාජ්‍ය බලය ගත්තට පස්සේ ඔබතුමාගෙන් සහ ඔබතතුමාගේ පවුලේ අයගෙන් පළිගත්ත හැටි අපිට අමුතුවෙන් මතක්කරන්න දෙයක් නැහැ. පළිගත්ත හැරෙන්න සම්පත් විකුණුවා හැරෙන්න ඔවුන් මේ රටට කරපු දෙයක් නැහැ.
    ආර්ථිකය විනාශ කෙරුවා හැරෙන්න ඔවුන් මේ රටට කරපු දෙයක් නැහැ.
    ඒ විතතරක් නෙමෙයි ජාතික ආරක්ෂාව විනාශ කරල මුළු රටේම ජනතාවගේ ජීවිත අවදානමට පත්කරපු ආණ්ඩුවක් තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ ඔබතුමාට මේ ආණ්ඩුව පාලනය කරන හැටි උගන්වන්න හදන්නෙ. ඒ නිසා ආර්ථිකය විනාශකරපු අය ආර්ථිකය හදන හැටි ගැන උපදෙස් දෙනකොට අපි පුදුමයට පත්වෙනවා යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
    ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා
    ගරු ජනාධිපතිතුමා හැමදාම අහන්නේ මේ තදබදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය මේ ව්‍යාපෘති කවද ද ආරම්භ කරන්නෙ කියලා. මේ මාර්ග බහුතරයක් විදේශ රටවල් ණය ආධාර ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේවා පරක්කු වෙනවා කියන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් තමා අන්තිමට ගෙවන්න වෙන්නෙ.
    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපතිතුමා වෙලා ඉද්දී මේ ව්‍යාපෘති සැලසුම් කළා.
    මහින්ද චින්තනය යටතේ එදා සැලසුම් කරලා 2015 පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි අපේ ආණ්ඩුව පැරදුනේ.
    හැබැයි ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා වැඩබිමක් වෙලා තිබ්බ මේ රට අවරුදු 5කදි මුඩුබිමක් බවට පත් කළා කියලා ජනතාව කියන මට්ටමකටම ගෙනාවා.
    හැබැයි යුද්ධය අවසන් වූ පසුව ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ලෝකයේ දියුණු වෙච්ච රටවල් වල තියෙන මාර්ග පද්ධතිය හා සමාන මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඉදි කරන්න පුළුවන්කම ලැබුණා. අධිවේගී මාර්ග විතරක් නෙමෙයි ගමේ සෑම මාර්ගයක්ම කාපට් හෝ කොන්ක්‍රීට් කිරීම දක්වා එය දියුණු වුණා.
    ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තරම් මේ රටේ මාර්ග සංවර්ධනයක් කවදාවත් ඉතිහාසයේ වෙලා නැහැයි කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


    මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි මහතා


    කොවිඩ් 19 වසංගතය හමුවේත් අපි අපේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරන අවස්ථාවක සියලු අවදානම් නොතකා මේ සඳහා සහභාගිවන පස්වන විධායක ජනාධිපති හා වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෞරවයෙන් පිළිගන්නවා.
    අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව අපේ රටේ මාර්ග පද්ධතියට අධිවේගී මාර්ග එක් කරන අවධියේ තිබුණු සැලසුමක් තමයි අතුරුගිරියේ සිට නව කැලණි පාලම ඔස්සේ කොළඹ කොටුවේ වරාය පිවිසුම් මාර්ගය. ඒ වගේම තමයි එතුමාගේ මහින්ද චින්තනය යටතේ ගුවන් පාලම් 22ක ප්‍රමාණයක් සකස්කිරීමට අපි සැළසුම්කරල තිබුණා යැයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි මහතා පෙන්වා දුන්නේය.
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන නිමල් ලාන්සා, සුසිල් ප්‍රේමජයන්ත, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මධුර විතානගේ, ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, තිලක් රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya