අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට ගුවන්ගමන් ඇරඹේ

    ජූනි 01, 2021

    * එන්නත් කරන වැඩපිළිවෙල හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙළ නිවැරදිව ක්‍රියාත්මක වීම විපක්ෂයට දරාගන්න බැහැ - සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග 

    ගුවන්යානාවලට  නැවතත් මෙරටට පැමිණීමේ පහසුකම් සැලසෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සංචරණය සීමා පැනවීමත් සමඟ අප්‍රේල් මස 31 දක්වා ගුවන්යානා මෙරටට පැමිණීම නතර කිරීමට රජය පියවර ගෙන තිබිණි.

    ඒ අනුව හෙට සිට නැවතත් සාමාන්‍ය පරිදි ගුවන් ගමන් කටයුතු ඇරබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ (31) මිනුවන්ගොඩ පැවති දිවංගත රෙජී රණතුංග මහතාගේ සැමරීමේ අවස්තාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

    මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීම ද කිරීමද අනිවාර්ය යැයි එහිදී අමාත්‍යවරයා පැවසීය.

    රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නිරෝධායන ක්‍රියාවලියට සහාය පළ කිරීම සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුගතවීම වීමත් සියලුම ගුවන් මගීන්ගේ වගකීමක් බවද අවධාරණය කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    සංචාරක ව්‍යාපාරය බිඳ වැටුනේ පාස්කු ප්‍රහාරයත් එක්ක. කොවිඩ් වසංගතය නිසා ව්‍යාපාරය තවත් කඩා වැටුණා.පහුගිය කාලයේ සංචාරක ක්‍රමවේද අනුගමනය කරමින් මෙරටට සංචාරකයින්ට පැමිණීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදී පැමිණි සංචාරකයින්ගේ 0.067% ක් වගේ ප්‍රමාණයක් තමයි පොසිටිව් වුනේ. ආණ්ඩුවට බලපෑමක් නොවන ආකාරයට ඔවුන්ගේ රක්ෂණය හරහා ප්‍රතිකාර ලබාදුන්නා. ඉදිරියටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
    මිලියන 3 ක පමණ ජනතාවක් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ජීවත් වන නිසා සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ අනුව සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ලංකාවට පැමිණීමේ අවස්ථාව හිමිවෙනවා. මේ අවස්ථාවේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වීමේ අදහසක් නැහැ.

    ඒ වගේම 07 වෙනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව තීරණය කරන්නේ කොවිඩ් මර්දන කමිටුවයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍යය අංශ තීරණ අනුව මිස විපක්ෂය හෝ නොයෙකුත් සංවිධාන වල අදහස් අනුව නෙවෙයි.

    මොරටුව එන්නත් කරන වැඩපිළිවෙලේදි ප්‍රශ්නයක් ඇති වුණත් නගරාධිපතිවරයා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළා කියලා මම හිතනවා. වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එන්නත ලබාදීමට ගත් තීරණයට එරෙහි වුණු සෞඛ්‍ය අංශ එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළොත් එන්නත්කරන වැඩපිළිවෙළින් ඉවත්වන බව ප්‍රකාශ කළා. ඒ වෙලාවේ නගරාධිපතිතුමා කිසි කෙනෙකුට අසාධාරණයක් නොවන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරලා අංකයක් ලබා දුන්නා. ඒ ක්‍රමය තමයි අපේ පැතිවලත් ක්‍රියාත්මක වෙන්නේ. ඡන්ද නාම ලේඛනය අනුව අංකයක් ලබා දෙනවා. තමන්ට හිමි අංකය අනුව එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා චන්ද නාමලේඛනයේ ලියාපදිංචි පුද්ගලයෙක්ද යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තහවුරු කරගැනීමෙන් පසුව වෛද්‍යවරයා වෙත යොමු කරනවා.

    ගිනි ගැනීමට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වන විටත් වෙරළ ආරක්ෂණය හා පරිසරවේදීන් සමග සාකච්ඡා කර පරිසරය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ අරඹා තිබෙනවා. මීට පෙර අනතුරට පත් වූ නෞකාවට අදාල රක්ෂණයවත් ආණ්ඩුවට ගත නොහැකි වූ බවට නොයෙකුත් ප්‍රකාශ විපක්ෂය කරමින් සිටිනවා. රක්ෂණ කටයුතුවල යෙදෙන්නේ රක්ෂණ සමාගම් මිස ආණ්ඩුව නෙවෙයි. මහබැංකු වංචාවට අදාල පුද්ගලයින් ලංකාවේ තියාගන්න බැරිවුණු අයයි මෙවැනි ප්‍රකාශ කරන්නේ.

    මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය සේවා හා එන්නත් කරන වැඩපිළිවෙල නිසි අයුරින් සිදු නොවන බවට චෝදනා කරනවා. චීස්, බේකන් කන අයට අමාරුකම් ඇති. ගම් මට්ටමට එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ යවන ක්‍රමවේදය සකස් කරලයි තියෙන්නෙ. වේයන්ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථාන වල අවශ්‍ය ප්‍රමාණයෙන් එළවළු තොග තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමීය කමිටු වල අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව අතරට යවනවා.එන්නත් කරන වැඩපිළිවෙල හොඳින් ක්‍රියාත්මක වෙනකොට, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය පරිදි ජනතාව අතරට යන කොට විපක්ෂයට දරාගන්න බැහැ. විපක්ෂය සතුටු වෙන්නේ කොවිඩ් මර්දන කටයුතු ,කඩාකප්පල් වෙනවා නම් තමයි. ඒ අය වසංගත තත්වය පාලනය කරන්න සහය වෙනවා වෙනුවට වසංගත තත්වය දඩමීමා කරගනිමින් ආණ්ඩුවට පහර දෙන්නත්, ආණ්ඩුවට එරෙහිව ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරනවා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya